පාඨලී ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අඹතලේ, කළු පාලම සහ නාගලගම් වීදිය පොම්පාගාරවල නිරීක්ෂණ චාරිකාවක!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, මධුර විතානගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද (10) පෙරවරුවේ අඹතලේ වැසි ජල පොම්පාගාරය, කොටුවිල, කළු පාලම අසල පිහිටා ඇති ගංවතුර සහ වැසි ජලය පාලනය කිරීමේ පොම්පාගාරය සහ නාගලගම් වීදිය ජල පොම්පාගාරය යන ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක් සිදු කළේය.

කාරක සභාවේ සාකච්ඡාවට ගැණුනු කරුණු අනුව මෙම නිරීක්ෂණ සිදුව තිබුණි.

ගංවතුර ප්‍රශ්නය විග්‍රහ කර ගැනීම හා විසඳීම
එවක පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ සිදු කරන ලද කොළඹ නගර ආශ්‍රිත ගංවතුර පාලනයෙන් ආවරණය වූයේ කොළඹ මහානගර බල ප්‍රදේශය, පාර්ලිමේන්තුව සහ කොළොන්නාව (කළු පාලම) සහ ඔලියමුල්ල ප්‍රදේශයන් පමණි. මෙම කලාපයේ කිලෝමීටර් 43 ක දුර ඇල මාර්ග සහ පස් පොළකින් කැළණි ගඟටත්, තුන් පොළකින් මුහුදටත් වතුර ගලා යයි.

ගංවතුර හා පිටාර තත්ත්වයන් ඇති විය හැකි ආකාර
ගංවතුර සහ පිටාර තත්ත්වයන් ගඟ උතුරා යාම, කලාපීය වැසි හා පිටස්තර වැසි නිසා ද, මෝසම් වැසි, ගෝලීය දේශගුණ්ක ප්‍රශ්න නිසා ද ඇති විය හැකිය. මෙවර ලානිනා තත්ත්වය ජූනි 2-3 සිද්ධියට (අසාමාන්‍ය වැසි) බලපෑවේය. මෙම ගංවතුර පාලනය සඳහා ත්‍රිත්ව ගංගා ව්‍යාපෘතිය (2017) ඇති කළ යුතු ය.

ඇල මාර්ග උතුරා යෑම, කලාපීය වැසි නිසාවෙන් ගංගාවන් ඇල මාර්ග හරහා ජලය කලාපයට ගලා ඒමෙන් සිදුවේ. මේ සඳහා එවකට මහානගර අමාත්‍යාංශයේ නගර ආශ්‍රිත ව්‍යාපෘතියෙන් පියවර තිබූ නමුත්,

  1. කිරිබත්ගොඩ සහ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සඳහා ඉදිකරන ලද ඔලියමුල්ල පොම්පාගාරය සඳහා 2019 වසරේ මිල දී ගන්නා ලද පොම්ප මේ වනතුරුත් (2024) සවි කිරීමට පියවර ගෙන නැත.
  2. කළු පාලම පොම්පාගාරය සතුව ඇත්තේ ඉතා කුඩා පොම්ප දෙකක් වන අතර, ඒ සඳහා අංග සම්පූර්ණ පොම්පාගාරයක් අවශ්‍ය කර තිබේ.
  3. අඹතලේ වැසි ජල පොම්පාගාරය සතුව පවතින පොම්ප 5 න් තුනක් විදුලියෙන් ක්‍රියා කරන අතර, අනෙක් පොම්ප 2 ක්‍රියාත්මක වන්නේ ඩීසල් මගිනි. පසුගිය දා ඇති වූ අධික ගංවතුර තත්ත්වය යටතේ විදුලිය විසන්ධි කෙරුණු අතර, ක්‍රියාත්මක වූයේ ඩීසල් මගින් ක්‍රියාත්මක කෙරෙන පොම්ප 02 ක් පමණි.
  4. එමෙන්ම අඹතලේ පොම්පාගාරය සඳහ අප්‍රමාණවත් සේවක සහ නඩත්තු මුදල් ලැබී නොමැති බව ද අනාවරණය විය. (මේ සඳහා මාසිකව රු. මිලියන 7 ක් පමණ අවශ්‍ය කෙරේ.)
  5. ප්‍රධාන ඇල මාර්ග නඩත්තුව නිසි ලෙස සිදු නොවේ.
  6. ගංවතුර කලාපයේ අනවසර පදිංචිකරුවන් ඉවත් නොවීම බරපතල ගැටළුවකි.
  7. ඇතැම් සංවර්ධන ව්‍යාපෘති (මාර්ග, නිවාස සහ වෙනත්) අත්හැරදැමීම නිසා ද ගැටළු රැසක් මතුව තිබේ.

කලාපීය ගංවතුර
කලාපීය ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම ප්‍රාදේශීය ආයතනවල වගකීමක් වන අතර, ඇල මාර්ග නඩත්තුව සිදු නොවීම, අනවසර ඉදිකිරීම් පාලනය නොකිරීම, කසල හා අපද්‍රව්‍ය ජල මාර්ග අවහිර කිරීම නිසා පිටාර තත්ත්වයන් ඇති වේ. කොළඹ නගරයේ ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සඳහා තවත් හඳුනාගත් ව්‍යාපෘති 17 ක් පමණ සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

ආයතනික ගැටළු
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව, නගර සභා, ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර තොරතුරු බෙදාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ නිසි යාන්ත්‍රණයක් නොමැති අතර, පවත්නා යාන්ත්‍රණ ද, ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය කළ හැකි විය.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...