*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

අධිකරණයටත් අපහාස කරමින් සමරිසියන්ට එරෙහිව අන්තවාදී ආගමික කණ්ඩායම් වීදියට!

සංස්කාරක (LGBTIQ)

ජූලි 22, කොළඹ (LNW): ඉකුත් වර්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. ප්‍රේම්නාත් දොළවත්ත මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද, වැඩිහිටියන් අතර සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ සැලකිල්ලට ගනිමින් පවතින මේ අවස්ථාවේ එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ නිගමනය (special determination) පවා අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායමක් විසින් අද (22) දින කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර ඇති බවට අප වෙත තොරතුරු ලැබී තිබේ.

ආගමික සංවර්තිතය (religious conversion) උදෙසා පුද්ගලයන් බඳවා ගැනීම අරමුණුකොට ගත් මෙම ඉවැන්ජලික කණ්ඩායම, කාන්තාවන් සහ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහි වෛරී ව්‍යාපාරයක් රැගෙන යන අතර, මෙම වෛරී ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ එවන් වෛරී ව්‍යාපාරවලට කතෝලික සභාවේ ද විරෝධය එල්ල වී තිබෙන පසුබිමක වීම සඳහන්කළ යුතු ය.

මෙම ඉවැන්ජලික කණ්ඩායමට මූල්‍යාධාර සැපයෙන්නේ සමරිසි අයිතිවාසිකම්වලට විරෝධී ඇමරිකානු ඉවැන්ජලික ජාලයක් විසින් බව ද ක්‍රියාකරුවෙක් LNW වෙත පැවසුවේ ය.

ගතවූ කාලසීමාව තුළ, ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින්, මෙරට ආගමික සහ සමාජීය සංහිඳියාවට බරපතල අන්දමින් තර්ජනයක් එල්ලවන ආකාරයේ ක්‍රියාකාරකම් ආරම්භකොට ඇති බවක් නිරීක්ෂණයකළ හැකි අතර, මොවුන්ගේ මෙම වෛරී ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ බැඳි ප්‍රඥප්ති උල්ලංඝනය කරමින් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ද අභියෝගයට ලක්කරමීනි.

ඇමරිකානු ආධාරක ඉවැන්ජලික ක්‍රිස්තියානුවන්ගේ මූල්‍ය ආධාර මත යැපෙන මෙම කණ්ඩායම, ආගම තම වාසියට හරවා ගනිමින් සිය ක්‍රිස්තියානි සන්නාමය සඳහා පුද්ගලයන් බඳවා ගනු ලබන දැවැන්ත ව්‍යාපාරයක කොටසක් ලෙස මෙම විරෝධතාවය දියත්කර ඇති බවයි අප වෙත තොරතුරු ලබුනේ.

මොවුන් විසින් එකී ක්‍රියාකාරකම් දියත් කරනු ලබන්නේ විශේෂයෙන්ම කතෝලික, බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ජනතාවට එරෙහිව වන අතර, අගේප් (Agape) දේවගැති-ධුරයේ පාස්ටර්වරියක විසින් “මව්වරුන්ගේ පෙරමුණ” (Mother’s Movement) නමින් පිහිටුවාගත් සංවිධානයක් ඔස්සේ මෙම ව්‍යාපාරය දියත්කර ඇති බව සඳහන්.

මොවුන්ගේ සටන් පාඨවල සමලිංගිකයන්, සංක්‍රාන්ති ලිංගිකයන්, විකෘතිකාමීන්, ළමා අපයෝජකයන්ගෙන් ඔබගේ දරුවන් බේරාගන්න යනුවෙන් සඳහන්ව ඇති අතර, මෙම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව වැනි ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් සහ කාන්තාවන්ගේ ප්‍රජනන හා සෞඛ්‍ය අයිතිවාසිකම්වලට එරෙහිවයි මෙවන් සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය කරන ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කර තිබෙන්නේ.

විශේෂයෙන්ම එවන් ප්‍රජාවන්ගේ ගැටළු පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති අනෙකුත් ආගම්වල පුද්ගලයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා මොවුන් විසින් මෙම ව්‍යාපාරය දියත්කර ඇති අතර, ඒ තුළින් ජන මතය මුළා කොට සිය ආගමට පුද්ගලයන් බඳවා ගැනීමේ අලෙවිකරණ වැඩපිළිවෙලක් දියත් කිරීමට මෙකී කණ්ඩායම් විසින් කටයුතු කර තිබේ.

මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Movement) අනුකරණය කරනු ලබන්නේ, මෙවන් ආකාරයේ ක්‍රියාවන් තරයේ ප්‍රතික්ෂේපකළ, ශ්‍රී ලංකාවේ පළමු විවෘත සමරිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම අමාත්‍යවරයා වූ දිවංගත මංගල සමරවීරගේ ප්‍රචාරණ උපායමාර්ගයි. මංගල සමරවීර විසින්, 1980 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල ආරම්භ වූ සමයේ, ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ දරුවන්ගේ මව්වරුන් වෙනුවෙන් මව්වරුන්ගේ පෙරමුණ (Mother’s Front) නම් ව්‍යාපාරයක් දියත්කළ අතර, ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගන්නා එම නමින්ම පෙනී සිටින මෙම කණ්ඩායම සිය ආගම වෙත පුද්ගලයන් බඳවා ගැනීමේ අරමුණින් වෛරී සහගත හා සාවද්‍ය ප්‍රචාරණයන් දියත් කරමින් සිටින බව වාර්තා වේ.

මෙම කණ්ඩායම් බොහෝ විට අධ්‍යාපනය, යහපත් සෞඛ්‍යය, සහ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලවල් දියත් කරන පුණ්‍යායතන මුවාවෙන් සිය සැබෑ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන අතර, මේ අන්දමින් ජනතාව මුළා කරන උපායමාර්ග අනුගමනය කරන මෙම කණ්ඩායාම්, තම ආගමික අභිලාෂයන් සඳහා පුද්ගලයන් යොමුකරවීමට ප්‍රථම එවන් පුණ්‍ය ක්‍රියා මඟින් ජනතාව අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සිදුකරති.

සෑම ආකාරයකම ආගමික අන්තවාදය තරයේ ප්‍රතික්ෂේප කරන අපි මෙම වෛරී ව්‍යාපාරය ද හෙළා දැකීමට කටයුතු කරන අතර, මෙම කලහකාරී, පුද්ගලයන් අන්‍යාගම් වෙත හරවා ගන්නා ඉවැන්ජලික කණ්ඩායම් ශ්‍රී ලංකාවේ උරුමයට තර්ජනයක් සිදු කරනවා පමණක් නොව ආගමික ගැටුම් ඇති කිරීමේ අවදානමක් ද නිර්මාණය කරන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

සියලු පුද්ගලයන් නීතිය හමුවේ සමාන විය යුතු අතර, විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ළමා අපයෝජකයන්ට සමාන කරන පුහු තර්කය බැහැරකළ අධිකරණ තීන්දු පවා අභියෝගයට ලක්කරන මෙවන් කණ්ඩායම් වෙත පැවසීමට ඇත්තේ, මෙවන් ක්‍රියාකාරකම් තුළින් විවිධ ආගමික හා සංස්කෘතික ප්‍රජාවන් අතර නොසන්සුන්තාවයක් ඇති කරන බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ පවතින ආගමික සංහිඳියාවේ ඓතිහාසික සන්දර්භය අවදානමේ හෙළා දමා ඇති බවත් ය.

එමෙන්ම, සමරිසි-විරෝධී මතවාදයන් ප්‍රචාරණය කිරීම තුළින් සමාජීය ප්‍රගතිය සහ මානව හිමිකම් හෑල්ලුවට ලක්කරන අතර, එමඟින් වෙනස්කොට සැලකීම සහ නොඉවසීම ප්‍රවර්ධනය වන බව ද සිහිපත් කිරීමට අපි කැමැත්තෙමු.

සමරිසි හිමිකම්වලට එරෙහිවීම සහ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන් සම්බන්ධයෙන් භීතිකාවක් නිර්මාණය කිරීම, සහ ඒ ඔස්සේ අන්‍යාගම් වෙත බඳවා ගැනීම ප්‍රවර්ධනය කොට සිය සන්නාමය ජනගත කිරීම සඳහා ලොව විවිධ රටවල දක්නට ලැබෙන, ඇමරිකානු ආගමික සංවිධාන විසින් ඩොලර් මිලියන ගණනින් මුදල් ආයෝජනය කරනු ලබන දැවැන්ත ගෝලීය න්‍යාය පත්‍රයක එක් කොටසක් ලෙස මෙම ව්‍යාපාරය සැලකිය හැකි ය.

සමරිසි පුද්ගලයන්ට මරණීය දණ්ඩනය පැනවීම සඳහා උගන්ඩාවේ සම්මතකළ නීති සම්පාදනය සඳහා සහාය වීමට කටයුතු කරන ලද්දේ ද මෙවන් කණ්ඩායම් බව සිහිපත්කළ යුතුය.

මෙම විරෝධතා ව්‍යාපාරයේ විශේෂත්වය වන්නේ, ඇතැම් බෞද්ධ සහ මුස්ලිම් කණ්ඩායම්වල සහාය ද මෙම ව්‍යාපාරය වෙත ලබා ගැනීමට ඔවුන් සමත් වී තිබීමයි. මෙමඟින්, මෙවන් ඉවැන්ජලික කණ්ඩායම්වල සැබෑ අභිලාෂයන් පිළිබඳ ඔවුන් තුළ පවතින දැනුවත්භාවයේ මඳකමෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට මෙම කණ්ඩායම් සමත්ව තිබේ.

අවසාන වශයෙන්, මෙවන් ඉවැන්ජලික කණ්ඩායම් සහ රෝමානු කතෝලික සභාව අතර පවතින වෙනස පහදා දීම අත්‍යාවශ්‍ය බව සිහිපත් කිරීමට අපි කැමැත්තෙමු. සමරිසි පුද්ගලයන් අපරාධකරුවන් කරනු ලබන නීති අයුක්ති සහගත බව පෙන්වා දෙමින් සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීම වෙනුවෙන් ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් අවස්ථා ගණනාවක දී හඬ අවදිකර තිබේ. සමරිසි පුද්ගලයන් පිළිගත යුතු බවත් ඔවුනට එරෙහිව වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් ප්‍රකාශකළ උන්වහන්සේ, “සමලිංගික හැඟීම් පවතින පුද්ගලයන් දෙවියන් වහන්සේගේ දරුවන් ය. දෙවියන් වහන්සේ ඔවුනට ආදරය කරයි. මෙවන් පුද්ගලයකු නොසළකා හැරීම පාපයකි. සමලිංගික හැඟීම් පවතින පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කිරීම අයුක්තිසහගතයි,” (Persons with homosexual tendencies are children of God. God loves them. Condemning a person like this is a sin. Criminalising people with homosexual tendencies is an injustice.) යනුවෙන් අවධාරණය කළහ.

සමලිංගිකත්වය සම්බන්ධයෙන් කතෝලික සභාව දරන ස්ථාවරය, රෝමානු කතෝලික සභාව, පුද්ගලයන් අන්‍යාගම් වෙත බඳවා ගැනීමේ උපාංගයක් ලෙස වෛරය සහ බිය භාවිතා කරන මෙවන් අන්තවාදී ඉවැන්ජලික කණ්ඩායම්වලින් වෙන්කොට තබන බව සිහිපත් කිරීමට අපි කැමැත්තෙමු.

පුද්ගලයකුගේ ආගම, වර්ගය, සමාජභාවය, සමාජභාවී අනන්‍යතාව, සමාජභාවී ප්‍රකාශනය, හෝ ලිංගික දිශානතිය කුමක් වූව ද, සියලු දෙනාට ගරුත්වයෙන් සලකනු ලබන සමාජයක් ගොඩනැඟීම ශ්‍රී ලංකාවේ දිගු-කාලීන ස්ථායීතාව සහ පුනරුදය උදෙසා අතිශයින් ම වැදගත් බව ප්‍රකාශ කරමින් මෙම ලිපිය අවසාන කිරීමට අපි කැමැත්තෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan