නිලවරණ ගැලවිජ්ජාව හෙවත් වසුරු අයිසින් කර,කේක් ලෙස මවා පෙන්නීම

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 15,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට ජාත්‍යන්තර සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් ලැබෙන ප්‍රතිපාදන නවතා දැමීමට තීරණය වී ඇත.ඊට හේතුව ලෙස ප්‍රධාන වශයෙන් ඔවුන් අවධානය යොමු කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ චෝදනා එල්ල වූ අය සම්බන්ධයෙන් ආචාර ධාර්මික කමිටුව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොවීමය.එහෙත් එම කරුණ වෙනුවට හැකි ඉක්මණින් නිලවරණය පවත්වා,ආචාර ධාර්මික කමිටුවෙන් චෝදනා ලද අයම තිබෙන සංයුතියේ බහුතරය ලබා ගෙන බලයට පැමිණීම සඳහා විධායක කමිටුව කැඳවා එකඟතාවයකට පිවිස තිබේ.එය හොරාගේ අම්මාගෙන් පේන ඇසූ විට අම්මා පුතා බේරා එය යුක්ති සහගත කිරීම සඳහා දෙන ලද නියෝගයකට සමානය.


දෙසැම්බර් 10 වන දා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ජේම්ස් මැක්ලියොඩ් සහ ආසියානු ඔලිම්පික් කමිටුව වෙනුවෙන් හුසෙයින් අල් මුසල්ලාම් අත්සන් තබන ලද ඒකාබද්ධ පණිවිඩයකින් නැවත දන්වන තුරු ශ්‍රී ලංකා ඔලිම්පික් වෙත ලැබෙන ප්‍රතිපාදන නවතා දමා ඇත.එහිදී ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා ඔලිම්පික් සිය විශ්වාසය සහ කීර්තිනාමය බලවත් ලෙස කෙළෙසාගෙන ඇති බවය.ක්‍රියාවේ පෙන්වන බලවත් අවිනිශ්චිතතාවයන් සහ සදාචාරාත්මක ගැටළු නිරාකරණය කර ගන්නා තෙක් මේ ගෙවීම් වලංගු නැති බව මිස,නිලවරණයකින් පසු ඒවා සක්‍රීය කරන බව පෙන්නා දී නැත.


මෙම ලිපියට දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ තත්ත්වය ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව අතර පැවති සංවාද සහ සාකච්ඡා අනුව දෙයක් සිඳු වී නැති බව ඔවුන් පැහැදිළිව පෙන්වා දෙන්නේය.එසේම ඔවුන් විශේෂ කොට දක්වන කාරණය වන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේම ආචාර ධාර්මික කමිටුව ගත් ක්‍රියාමාර්ග ක්‍රියාවට නොනැඟීමය.එම විශේෂ කොට දක්වා තිබෙන කරුණ අනුව මේ වන විට අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් සැක කරන පිරිසට සිය නිල බලය අහිමි වී තිබිය යුතුය.අඩුම තරමේ ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා මේ සම්බන්ධයෙන් චෝදනාලාභී බලවත්ම පුද්ගලයා වන බැවින් ඔහු හෝ ඉවත්ව තිබිය යුතුය.


මේ කාරණා පිළිබඳව මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය විසින් ද, insidethegames වැනි ජාත්‍යන්තර වෙබ් සඟරාවන්ද,කරුණු සඳහන් කර තිබියදී රටේ ක්‍රීඩා අමාත්‍යවරයා,නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් වැනි කිසිවෙක් නොදැන සිටින බව කිව නොහැකිය.එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු ලෙස “නිලවරණය ඉක්මණින් ගෙන ඒම විය යුතුය“ ලෙස කොතැනකවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව සඳහන් කර නැත.


පළමු කොට ආචාර ධාර්මික කමිටුව කරන චෝදනාවලට වගකිව යුතු පිරිස් බල රහිත චරිත කර නිවැරදි සමීක්ෂණයක්,පරීක්ෂණයක් කළ යුතුය.ඔවුන්ම මැදිහත්ව නැවත නිලවරණයක් බවත්වා බලය අත්පත් කර ගැනීමෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ ද නැත.ඒ නිසා මේ සිඳුවෙමින් පවතින්නේ සාධාරණ යැයි පෙන්වන්නට අසූචි ගොඩක් මත අයිසින් තැවරීමය.එහෙත් අයිසින් තැවරූ පමණින් කේක්වල තිබිය යුතු කිසිවක් නැතුව අසූචි කේක් වන්නේ නැත.ඒ නිසා නිලවරණය යනු අසූචි මත අයිසින් තවරා එය කේක් ලෙස ඉදිරිපත් කිරිමට ගන්නා උත්සාහයක් වන අතර ක්‍රීඩාවේ ඉහළ බලවතුන් සියල්ලටම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහ ආසියානු ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡා කරන්නට මාවත විවරව තිබියදී කේක් ලෙස අසූචි වළදන්නේදැයි අපි විමසිල්ලෙන් සිටින්නෙමු.


නිල වශයෙන්ම ආසියානු සහ ජාත්‍යන්තර ඔලිම්පික් සංගම් පැහැදිළිවම මේ වන විට රටට ලැබෙන ආධාර නවතා දැමීමට තීරණය කර තිබෙන බව දන්වා ඇත.මීට පෙර සිටම අප මේ විය හැකි අනතුර සහ තව දුරටත් අවස්ථාව ඇති නරකම තත්ත්වය වන ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අහිමි කිරීම වැනි කරුණු ගැන ද අපි අනතුරු අඟවා ඇත්තෙමු.එහෙත් ස්වාධීනත්වය යන ලේබලය මතම රැඳෙමින්,ඒ සමඟ යා හැකි දුර අතික්‍රමණය කර විෂමාචාර චෝදනාවන්ට ලක් වී ඇති පිරිස් සම්බන්ධයෙන්,ප්‍රායෝගිකව ක්‍රීඩාවේ නියැලි නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද සිටියදී,එම චෝදනාවන් නිලවරණයකින් වැසීම යන ප්‍රායෝගික නොවන,රටේ ක්‍රීඩාවට බලපෑම් ඇති කරන තත්ත්වයකට පත්ව තිබීම කණගාටුදායකය.පළමුව විය යුත්තේ අසූචි ඉවත් කර කේක් සඳහා අවශ්‍යය කළමණා එකතු කර,එය සකස් කර අයිසින් දැමීමය.


දැන් සිඳුවෙමින් පවතින අන්දමට වසුරු මත අයිසින් දමා සකස් කළ කේක් ගෙඩිය ලංකාවේ ක්‍රීඩා බලධරයන් පිළිගත්තද,ආචාර ධාර්මික කමිටු වාර්තාවට අනුව වැරදිකරුවන් වී ඇති පිරිස ඉවත් කර කරන පරීක්ෂණයකින් මෙ‘පිට,ජාත්‍යන්තරය සහ ආසියාව පවත්වන නිලවරණ පිළිගනීද යන්න සැක සහිතය.ඒ අනුව නිලවරණය යනු ගැලවිජ්ජාවට මඟක් මිස ජාත්‍යන්තර වශයෙන් අවධානම නැති කිරීමට ගන්නා උත්සාහයක් නොවන බව අපි අවධාරණය කරනු කැමත්තෙමු.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: සිඩ්නි ස්වීනි ගේ රිපබ්ලිකන්භාවය ට්‍රම්ප්ගේ හඳ උණු කරවයි; American Eagle දැන්වීමටත් ප්‍රශංසා!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

ඒ්ස් කැපිටල්,බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: හිරුණිකා නිවර්ථනීගේ අති දක්ෂ පන්දු...

යේමනයට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයින් 50 කට අධික පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයට ඔබ්බෙන් ගල්ෆ්...

එළවළු, මාළු, පොල් මිල හා අවධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී...