Home පුවත් දේශපාලන පුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු කරගත් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක සමාරම්භක උත්සවය ඊයේ (03) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

එහිදී ප්‍රධාන දේශනය මහාචාර්ය දීපිකා උඩගම විසින් සිදු කරන ලද අතර එම වැඩසටහන විශේෂයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක අවශ්‍යතාව මතුකරන ලද්දකි.

මෙරට ව්‍යවස්ථා සම්පාදන ක්ෂේත්‍රයේ විද්වත් මඩුල්ලකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය සඳහා පහසුකම් සපයනු ලබන්නේ දේශපාලන පක්ෂ අතර ජාතික ප්‍රතිපත්ති පිළිබඳ එකඟතා ගොඩනැඟීම වෙනුවෙන් පෙනී සිටින “වන් ටෙක්ස්ට්” (One Text) ආයතනය විසිනි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ මේ වන විට සංවාදයට බදුන්ව ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. ඒ සම්බන්ධයෙන් වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවද පොරොන්දුවක් ලබා දී තිබේ.

ඒ අනුව උක්ත වැඩසටහන තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු හඳුනා ගනිමින් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාළ මූලික සාකච්ඡාව සඳහා විවිධ දේශපාලන හා නීතිමය ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන් පිරිසක් ඊට එක්ව සිටියහ.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රාජ්‍යය හා ස්වෛරීභාවය පිළිබඳවත්, ආචාර්ය කේ. ගුරුපරන් සමානාත්මතාවය හා සුළුතර අයිතිවාසිකම් පිළිබඳවත්, නිසාම් කාරියප්පර් බහුත්වවාදය හා ප්‍රජා නියෝජනය පිළිබඳවත් සිය අදහස් ඉදිරිපත් කර තිබුණි.

එසේම ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සංවරණ හා තුලන ක්‍රමවේද පිළිබඳව සාකච්ජාවට යොමු කළ අතර ආචාර්ය රමේෂ් රාමසාමි දේශපාලන ආයතන සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් සිදු කරන ලදී.

මේ වන විටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර තිබේ.

විශේෂයෙන් මෙරට විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් බරපතල සාකච්ජාවක් පවතින අතර වත්මන් ආණ්ඩුව පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අවසන් විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක බවයි.

කෙසේවෙතත් අඉදිරි කාලය තුළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සංවාදය වඩා පුළුල් වනු ඇති අතර ඊට මහජන මැදිහත්වීමද අත්‍යවශ්‍ය කාරණයක්ව පවතියි.