උපාලි කොළඹගේ
කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව බැලූ බැල්මටම පෙනේ. එය විපක්ෂය විසින් කෘතිමව නිර්මාණය කරන ලද්දක්ද, නැත්නම් ආණ්ඩුවේ රාජ්‍ය පාලනයේ පවත්නා යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා සිදුවූවක්ද එසේත් නැත්නම් ඒ දෙකේ සම්මිශ්‍රණයක්ද යන්න වෙනම සලකා බැලිය යුතු කරුණකි.
කෙසේ වුවත් රට තුළ පවත්නා මෙම නොසන්සුන්කාරී වාතාවරණය රටේ ප්‍රගමනයට බාධාවක් බව නම් කිව හැකිය. මෙම තත්ත්වය සාමාන්‍ය පුරවැසියන් වන අපට නම් කිසිසේත් සතුටු විය හැකි නොවේ. මාගේ පෞද්ගලික අදහස නම් ඕනෑම ආණ්ඩුවකට වසර තුනක වැනි කාලයක්වත් සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර වැඩ පෙන්වීම සඳහා කාලයක් ලබා දිය යුතුය. නමුත් මේ ආණ්ඩුවට එවැනි සහන කාලයක් ලැබුණා ද යන්න ගැටලු සහගතය .
මා මෙයින් අදහස් කරන්නේ ආණ්ඩුවට ඕනැ දෙයක් කරන්න ඉඩදී විපක්ෂය නිද්‍රාශීලිව සිටිය යුතුයැයි කියා නොවෙි. විපක්ෂය ආණ්ඩුව සාධාරණ විවේචනයකට ලක් කිරීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. එයට කාල රාමුවක් තිබිය යුතු නැත. නමුත් එය සාමාන්‍ය ජනතාවට එපා වන සේ විසිහතර පැයේම නොසිදුවිය යුත්තකි. සාමාන්‍ය ජන ජීවිතය ආතතියට පත්කිරීම කුමන කණ්ඩායමකට හෝ අයත් නැති කාර්යකි.
වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අතින් සිටිනුයේ සෘණ මට්ටමේය. එතුමාට විවේචනයේදී සීමා මායිම් නැත. අතට අහුවෙන ඕනෑම බොරලු කැටයකින් හෝ ආණ්ඩුවට දමා ගැසීම එතුමා ගේ දෛනික කාර්යක් වී තිබේ.
වෛද්‍යවරුන් නොකළ හැකි ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණ ද සජිත් ප්‍රේමදාස සිය පාලනයක් යටතේ එය ඉටු කරන බවට පොරොන්දු වෙයි. ධීවර ප්‍රශ්නයට මැදිහත් වීමද එයාකාරයෙන් සිදු කෙරේ. ගුරු සංවර්ධන නිලධාරීන් විභාගයකට මුහුුණ නොදී නිත්‍ය ගුරු සේවයට අනුයුක්ත කළ යුතු බවට වූ ඉල්ලීම ද සජිත්ට ආසික්ය. ගුරු සේවයට කිසිදු තත්ත්ව පරීක්ෂාවකින් තොරව පුද්ගලයන් බඳවා නොගත යුතු බවට රටේ අධ්‍යාපන විද්වතුන් විසින් දිගු කලෙක පටන් කරන ලද ඉල්ලීම සජිත්ට අදාළ නැත. උපවාසයෙහි නිරතව සිටි ගුරුවරුන්ට තම රජයක් යටතේ පත්වීම් ලබා දෙන බවට ඔහු පොරොන්දු විය. එහෙත් ජනාධිපතිවරයා ඉතාමත් පැහැදිලිව රාජ්‍ය ප්‍රතිපත්තියටද පටහැනි නොවන සේ එම ප්‍රශ්නය විසඳීමට මැදිහත් විය. සජිත් මේ ප්‍රශ්න යේදී නම් ඇදගෙන නාගත්බව පැහැදිලිව පෙනිණ. සජිත්ගේ මෙම ක්‍රියා කලාපයත් සමග විපක්ෂයේ සෙසු කණ්ඩායම්වල වෛරී දේශපාලනයත් මිශ්‍ර වූ විට හට ගැනෙන ආණ්ඩුවට එරෙහි වෛරී දේශපාලන විරෝධය සජිත්ගේ ගිණුමට බැරවෙන බවද සඳහන් කළ යුතුය.
දැනට පාර්ලිමේන්තු වේ සිටින හා නොසිටින කුඩා කණ්ඩායම්වල ඒකායන පරමාර්ථය මේ ආණ්ඩුව ගෙදර යවා තමන් වෙත එල්ලවී ඇති හා එසේ ඉදිරියේදී එල්ල විය හැකි අපරාධ චෝදනාවලින් ගැලවීම බවද මෙහිදී අමතක නොකළ යුතුය.
ඔවුන් බොහෝදෙනකු සජිත් ප්‍රේමදාස මහතා පාවිච්චි කරනුයේ පළිහක් ලෙසින් පමණක් බවද පරම සත්‍යයකි.
මෝඩ කමට බේත් නෑ යන්නද මෙහිදී මතක් කර දිය යුතුය .
කෙසේ වුවත් චවුර කල්ලියේ පළමු තෝරා ගැනීම වී ඇත්තේ නාමල් රාජපක්ෂය. එයට හේතුව ඔවුන් බොහෝ දෙනකු නාමල් සමග එකම බෝට්ටුවේ සිටින නිසා විය හැක. නාමල්ගේ ගෝලබාලයන් දැන් සිටම සජිත්ට කකුල් මාට්ටු දමන ආකාරය ද මේ දිනවල නිතර දක්නට ලැබෙයි. මාලිමාවන්ට ස්වීප් එකක් වී ඇත්තේද කිසිදා හා නොවන මේ බෙදීමය.
කොහොම වුනත් මාලිමා ආණ්ඩුවද කියපුදේ කරන උපාසක ආණ්ඩුවක් නම් නොවේ. ඇතැම් ප්‍රශ්න අනාගෙන ඇති ආකාරය දෙස බැලූ විට මේ බව පසක් වේ. නමුත් ආණ්ඩුවට තව කල්දිය යුතුය. විපක්ෂයට තියෙන හදිස්සිය මේ රටේ සාමාන්‍ය ජනතාවට නම් නැත. එනිසාවෙන් දැන් තීව්‍ර වෙමින් පවත්නා වෛරී දේශපාලනයට තිත තබා වඩා අර්ථවත් අයුරින් විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන්නේ නම් එය රටට වැඩදායකය.


