Home පුවත් දේශපාලන පුවත් නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක් බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේය.

ජනතාවගේ ගැටළු විසඳීම වෙනුවට විපක්ෂය පාර්ලිමේන්තුව තුළ රංගනයන් ඉදිරිපත් කරමින් පසුවෙන බවටයි නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේ.

ඔහු මෙම අදහස් දක්වන ලද්දේ අද (12) නිවාස 300 කින් යුත් ඔබේසේකරපුර මහල් නිවාස සංකීර්ණයේ වැඩ යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

”159 දෙනෙකුගේ ජනතා බලයෙන්, අපි තුනෙන් දෙකේ බලය සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඒ බලය අපට ලැබුණේ ජනතාවගේ විශ්වාසයෙන්. හැබැයි අද පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් ජනතාව දැකගත යුතුයි. අපේ අම්මලා තාත්තලා අපි පාර්ලිමේන්තුවට යන විට මේක ඇත්තටම කෙසේද කියලා දැනගත යුතුයි. අද විපක්ෂයේ කාර්යභාරය බලද්දී, රට වෙනුවෙන් නිර්මාණාත්මක විවේචනයක් කරනවා වෙනුවට, විනාශකාරී හා අශෝභන නාට්‍යයක් පෙන්වන තත්ත්වයක් අපි දකිනවා. දවසින් දවස පාර්ලිමේන්තුව තුළ “ෂෝ” එකක් වගේ හැසිරීම් සිදු වෙනවා. උදේ 9.30ට පටන් ගන්න මේ නාට්‍ය, 11 වෙද්දී තවත් උණුසුම් වෙනවා. කතා, චෝදනා, කෑගැසීම්,එය රටේ ගැටලු විසඳීමට නොව, කැමරා ඉදිරියේ දේශපාලන රංගනයක් ලෙස පෙනෙනවා.

සමහර මන්ත්‍රීවරුන්ට තමන්ගේ කතාව විකාශනය වුණාද, තමන් අද ප්‍රසිද්ධ වුණාද කියන එක ප්‍රධානයි. “අද මගේ වැඩේ හරි” කියන හැඟීමක් එක්ක ඔවුන් පිටව යනවා. නමුත් රටේ ජනතාවගේ ගැටලු ගැන සැලකිල්ලක් දක්වනවාද කියන ප්‍රශ්නය තියෙනවා. පාර්ලිමේන්තුව යනු නාට්‍ය රඟදක්වන ස්ථානයක් නොව, ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන උතුම් ස්ථානයක්.

අපි දන්නවා, මේ රටට විශාල හානියක් කළ සමහර පුද්ගලයින් ඉදිරියේදී නීතිය හමුවේ උත්තර දිය යුතු වෙනවා. පහුගිය කාලයේ 360 අංශකයක් වෙනස් වෙනවා කියලා කියපු අය අද වෙනස් කතා කරනවා. එවැනි දෙබස්වලට ජනතාව රැවටෙන්නේ නැහැ. රටේ නීතියට ඉහළින් කිසිවෙකු නැහැ. අපේ රජය පිළිබඳව ගැටලු තිබෙනවා නම්, අපි ඒවාට බිය නොවී අපි කරන්නේ සැලසුම් සහගතව උත්තර සොයන එකයි. ජනතාව අපට ලබාදුන් බලය අපි වගකීමෙන් භාවිතා කරනවා. ඒ නිසා අපට විශ්වාසයක් තියෙනවා මේ රට නිවැරදි මාර්ගයකට ගෙනියන්න අපට හැකි බව” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.