සිරියාවේ කඳවුරු වාසීන් දැඩි ආරක්ෂක අවදානමක!

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිරියාවේ අල්-හෝල් (al-Hol) කඳවුරේ පාලනය කුර්දි හමුදා වෙතින් එරට රජය වෙත පැවරීමත් සමඟ එහි රඳවා සිටි දහස් සංඛ්‍යාත පිරිසක් ඉන් පිටව යාම දැඩි ආරක්ෂක අවදානමක් මතු කර ඇත.

මීට පෙර ISIL සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන දේශීය සහ විදේශීය වැසියන් විශාල පිරිසක් මෙම කඳවුරේ සිටි අතර, ඔවුන් නිසි සම්බන්ධීකරණයකින් තොරව විසිර යාම නිසා ත්‍රස්තවාදය යළි හිස එසවීමේ ඉඩකඩක් පවතින බව විචාරකයෝ පවසති.

මෙම පිරිස් අතර සිටින කාන්තාවන් සහ ළමුන් ජාවාරම්කරුවන්ට හසුවීමේ සහ විවිධ මානුෂීය ගැටලු වලට මුහුණ දීමේ තර්ජනයක් ද මෙහිදී පෙන්වා දී තිබේ.

පවතින අවිධිමත් තත්ත්වය හේතුවෙන් සහන සේවා කටයුතු අත්හිටුවීමට සිදුව ඇති අතර, අදාළ රටවල් මැදිහත් වී සිය පුරවැසියන් යළි භාරගත යුතු බවට මානව හිමිකම් සංවිධාන බලකර සිටියි.

සිරියාවේ නව රජයට එරෙහිව එල්ල විය හැකි ප්‍රහාර සහ කලාපීය ස්ථාවරත්වය පිළිබඳව මෙම සිදුවීම හරහා බරපතල ගැටලු මතු වී ඇත.