ඇමති ආනන්ද කිව්ව නුවරඑළියේ අයිස් ෆැක්ටරිය ගැන වාර්තාව තවම ලැබිලා නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0
5

සටහන – රුවන් නෙළුගොල්ල

නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් හමුවී ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මීට පෙර ප්‍රකාශ කර තිබිණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ තවමත් ඒ සම්බන්ධ විමර්ශන වාර්තාව තමන්ට ලැබී නොමැති බවයි.

“නුවරඑළිය නේද ? ඒ පිළිබඳ විමර්ශන වාර්තාව මට තවම ලැබිලා නැහැ. ප්‍රමාදයි. ඒක ලැබිච්ච ගමන් මම ඔයාට ඒ පිළිබඳ සවිස්තරාත්මක පණිවිඩයක් දෙන්නම්”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු ලබානොදී මගහරිමින් එතැනින් නැගිට යාමට ද උත්සාහ දරණ ආකාරය එහිදී දක්නට ලැබිණි.

කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා විසින් නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි පාකිස්ථානු ජාතිකයින් දෙදෙනෙකු සේවය කර ඇති බවත් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ 2025 සැප්තැම්බර් මාසයේදී ය.