ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ස්ථාන මාරු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර මතුව තිබෙන මතභේදාත්මක තත්ත්වය තවදුරටත් සමනය වී නොමැති අතර අද පෙරවරු 08.00 සිට යළි පැය 48ක වැඩවර්ජනයක් කැඳවීමට එම සංගමය කටයුතු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ස්ථාන මාරු වීම සහ සීමාවාසික වෛද්‍ය පත්වීම් පාරදෘශ්‍ය භාවයෙන් තොර බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන විට අනෙක් පැත්තෙන් විෂය භාර අමාත්‍යවරයා අවධාරණය කළේ ආයතන සංග්‍රහයට අනුව වරදක් සිදුව ඇත්නම් ජනතාව පළිහක් ලෙස භාවිතා නොකර ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණෙන ලෙසයි.
කෙසේවෙතත් එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් යොමුවීමක් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පෙනෙන්නට නැත.
දශක ගණනාවක් එකම ආකාරයට පැවති වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු වීම් පටිපාටිය මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිසි පරිදි සිදු කර ඇති බවත් ස්ථාන මාරු ක්‍රියාවලිය වෘත්තීය සමිති ක්‍රියාවක් නොවන බවත් පැහැදිලි කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන යන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හුදෙක් වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නයක් මත සිදුවන්නක් නොව එය පැහැදිලිලෙසම දේශපාලන වුවමනාවක් මත සිදුවන්නක් බවයි.
ඊයේ දිනය වන විට සීමාවාසික වෛද්‍යවරු 436ක් සඳහා පත්වීම්ද ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟතා උල්ලංඝනය කරමින් සීමාවාසික වෛද්‍යවරු සඳහා පත්වීම් ලබා දී ඇති බවයි.
ඒ අනුව නවක පත්වීම් ලද වෛද්‍යවරු අද සිට ලබන 11 දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.
මෙම පසුබිම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම කාරණය පාදක කරගෙන සිව් වෙනි වරටත් වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.
වැඩවර්ජනය සම්බන්ධයෙන් අද (09) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ මෙම ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා මැදිහත්වනු ඇති බවයි.
අද සිට ක්‍රියාත්මක කළ පැය 48ක වැඩවර්ජනය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ නිවේදනය,
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය දේශපාලනීකරණයට ලක්කිරීමේ උත්සාහයන් හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කරන ලදී.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
එහිදී එකඟතාවය වූයේ අදාල සාකච්ඡාව අවසන් වනතුරු ප්‍රශ්නගත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තුව අත්හිටුවිය යුතු බවයි.
එහෙත් මේ වන විට අදාළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.
මෙය, යම් ගැටලුවක් සාකච්ඡාමය ප්‍රවේශයකින් විසඳගැනීමේ ක්‍රියාවලියේ මූලික ප්‍රතිපත්තීන් පවා උල්ලංඝනය කිරීමකි.
එමෙන්ම විශ්වාසය මත පදනම්ව ගැටළුවක් සාකච්ඡාවෙන් විසඳාගැනීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය උත්සහ කරන පසුබිමක, එම විශ්වාසය අමු අමුවේ කඩකරමින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම පිළිගත නොහැකි සහ අතිශය සදාචාර විරෝධී ක්‍රියාවකි.
සෞඛ්‍ය අමාත්‍යවරයා රට තුළ නොමැති අවස්ථාවක මෙය සිදුවීම කිසිසේත්ම සුළුවෙන් බැහැර කළ නොහැක.
මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව, හෙට දින එනම් 09.04.2026 වන බ්‍රහස්පතින්දා දින උදෑසන 08සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
මෙම ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුව විසඳීමට හෙට දින උදෑසන 08 දක්වා කාලය ඇති අතර, එසේ නොවන්නේ නම් වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාවේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් සම්පූර්ණයෙන් භාරගත යුතුය.


