GMOA බල බිඳෙයි. ඇමතිගේ සාකච්ජාව අහෝසියි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත අද (09) දින ලබා දී තිබූ සාකච්ඡාව අහෝසි කර දමන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ කරුණු හෙළිකරමින් අමාත්‍යවරයා පැවසුවේ “මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ. මේ වැඩවර්ජනය අසාධාරණයි. එයට අපි රජය විදියට මුහුණදෙන්න සුදානම්” යනුවෙනි.

මේ අතර පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම මාරුවීම් සම්බන්ධව කිසිම අදාළකමක් නොපවතින බවත්, පශ්චාත් සීමාවාසික පුහුණුව ලැබූ අයගෙන් එක් අයෙක් හැරෙන්නට සියලුම දෙනා රජයේ සේවයට එක්වීමට කැමැත්ත පළ කර ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති වැඩවර්ජනය කිසිම හේතුවක් මත සාධාරණීකරණය කළ නොහැකි බවයි ඇමැතිවරයා සඳහන් කළේ.

“දවස් 5ක් වැඩවර්ජනයක් කරලා තියෙනවා. එක පැත්තකින් මැද පෙරදිග අර්බුදයක් පවතින වෙලාවක මෙහෙම වැඩවර්ජනයක් කරන එක කිසිම සාධාරණයක් නෑ. අනිත් එක මේකට හේතුව කරගෙන තියනේනේ, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම. ඒ පත්වීම් ලැයිස්තුව සකස් කරන්න GMOA සිටිය යුතුයි කියන ස්ථාවරයේ සිටිමින්, ඔවුන් වැඩවර්ජනය කරනවා.

පළමු පත්වීමට මාරු මණ්ඩල අදාළ නෑ. ගිය අහඟහරුවාදා මේ වෛද්‍යවරු කණ්ඩායමක් කොළඹට කැඳවලා තර්ජනය කළා GMOA පත්වීම් ගන්න එපා කියලා. පත්වීම් අරන් යන අය ගැන එයාලා බලාගන්නම් කිව්වා. දිගින් දිගටම මාධ්‍ය මඟින් තර්ජනය කළා පත්වීම් ගන්න එපා කියලා. හැබැයි කණ්ඩායමේ 453ක් හිටියා, ඒකෙන් 436ක් අප්‍රේල් 4 වෙද්දි අයදුම් කළා තමන්ට මේ පත්වීම අවශ්‍යයි කියලා. ඉතුරු 17න් 16ක්ම සීමාවාසික පුහුණුවෙන් පස්සේ RHO එක හරියට නොකරපු අය. එක් අයෙක් තමා හරියට කිව්වොත් ඉල්ලුම් නොකළේ. මේ වැඩවර්ජනය කරන එක කිසිම පදනමක් නෑ.”

එමෙන්ම වර්ජනය නොතකා රාජකාරි සඳහා කැඳවා ඇති වෛද්‍යවරුන් වෙත පොලිස් ආරක්ෂාව ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.