හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ චීනය හා රුසියාවෙන් නව කෙටුම්පත් යෝජනාවක්!

කොළඹ LNW:චීනය හා රුසියාව ඒකාබද්ධව හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ නව කෙටුම්පත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය‍ට ඉදිරිපත් කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(8) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා. චීනය හා රුසියාව විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද එම යෝජනා කෙටුම්පත නිල වශයෙන් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලට බෙදා හැර ඇතැයිද ඇය සඳහන් කළා.

ඊයේ(08) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී බහරේන රජය විසින් ඉදිරිපත් කළ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ කෙටුම්පත් යෝජනාවට ඡන්ද විමසීමක් සිදු කෙරුණා. එහිදී චීනය සහ රුසියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ කෙටුම්පත් යෝජනාව සම්මත වූයේ නැහැ. මේ සම්බන්ධයෙන් චීනය හා රුසියාව වත්මන් මැදපෙරදිග තත්ත්වය හා සාගර ආරක්ෂාව කෙරෙහි නව කෙටුම්පත් යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජාතීන්ගේ චීනයේ හා රුසියාවේ ස්ථාවර නියෝජිතයෝ ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය පැවසුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනා ගමනයට බාධා එල්ලවීමට මූලික හේතුවී ඇත්තේ ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව නීති විරෝධි යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම බවයි. හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම අදාළ ගැටළු විසඳා ගැනීමේ මූලික පියවරක් බවයි ඇය සඳහන් කළේ. ඡන්ද විමසුමේදී චීනයේ ස්ථාවරය සාධාරණ මෙන්ම යුක්ති සහගත වූ අතර එය ඓතිහාසික නිරීක්ෂණයට ලක්විය හැකි බව ඇය අවධාරණය කළා.

චීනය හා රුසියාව විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරනු ලබන නව කෙටුම්පත් යෝජනාව ගැටුම්කාරී තත්ත්වය ලිහිල් කිරීම, සංවාද හා සාකච්ඡා පැවැත්වීම මෙන්ම නාවික ගමන් පිළිබඳ අයිතිවාසිකම් හා නිදහස සහතික කිරීම යන කරුණුවලට අදාළ වන අතර ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවට ද අනුකූල වන බවයි ඇය පැවසුවේ. තත්ත්වය හැකි ඉක්මණින් ලිහිල් කර හෝමූස් සමුද්‍ර සන්ධිය හා මැදපෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනය අදාළ පාර්ශ්වයන් සමග එක්ව අඛණ්ඩව කටයුතු කරනු ඇතැයිද Mao Ning මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දිනූෂි ධීරසිංහ