සටහන – රුවන් නෙළුගොල්ල
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ උත්සවයට සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක්ව තිබේ.
පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස පහක කාලයක් තුළ මෙම නිවස ඉදිව තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි වන නව නිවාස හයෙන් එකක් බවත් එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස හැට හයකටද මේ වන විට වන්දි ගෙවා අවසන් කර තිබෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව නව නිවසේ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වූ ජනාධිපතිවරයා එම සියලු ජනතාවට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් එක් කළ අතර ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා වෙතද අලුත් අවුරුදු සුබපැතුම් එක් කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස ඉදිකිරීම් හා ජල කලමනාකරණ අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පළාත් පාලනය ආයතන ප්‍රධානීහු ඇතුළු මහජන නියෝජිතයෝද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද සේනාරත්න මහතාගේ පවුලේ ඥාතීහු ඇතුළු ප්‍රදේශවාසීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







