සටහන – නිෂ්මං රණසිංහ
අප්‍රේල් 16, LNW (කොළඹ):
මාළු ටික ඉතිං අමාරුවක් නැතුව දෙන්න පුළුවන්නෙ….
මේ අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරන සහ කර තිබෙන සහෝදරියන් දෙදෙනෙකුගේ අම්මා අපට කියන කතාවය.
‘මේ දෙන්නට ලොකුයි පුතා.එයා ක්‍රිකට් ගහලා පස්සෙ පුට්බෝල්වලට ආවා.දැන්නම් එහෙමට සෙල්ලමක් නැහැ.විලා එකක වැඩ.‘
ඒ අම්මා දුවලා දෙන්නාට ක්‍රීඩාව අත හැර විලාවක වැඩට යන්නට අවශ්‍යය නැත යන්න කියන්නේ වෙන වචන පෙළකින්ය.
‘එයාලට එයාලගෙ වැඩ කර ගන්න ක්‍රිකට් බෝඩ් එකෙන් ගාණක් දෙනවනෙ.එයාල ඒකෙන් ගෙදර වැඩවලටත් උදව් කරනවා.
ලාංකේය පොළව මත ක්‍රීඩාව රස්සාවක් හැටියට කළ හැකිව තිබෙන්‍නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී පමණය.ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කළත් තරග දීමනාවක් පමණ වුව බොහෝ අවස්ථාවල සාමාන්‍ය රැකියාවක මාසික වේතනය ඉක්මවා යන සුළුය.මේ වෘත්තිමය තත්ත්වය වර්ථමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සකස් වී ඇත.එසේම පහළ සිට ඉහළට දක්ෂයාට වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්න අවශ්‍යය කරන පහසුකම් ද ස්ථාපිත කර ඇත.
මේ කතාවට පදනම් වෙන රශ්මි නේත්‍රාංජලී සහ නෙතගි ඉසුරාංජලී ගේ මව කියන කතාව ඇතුළට රශ්මි කියන කතාව අපි අමුණන්නේ ඒ ගැන පැහැදිළි කර ගන්නටය.
‘දිස්ත්‍රික් එකට ඇවිත්,පළාත් එකට ඇවිත්,සුපර් ප්‍රොවින්ස් ගහලා තමයි උඩට එන්නෙ.ඒ හැම පියවරකදිම අපිට ලැබෙන දැණුම,තරගකාරීත්වය කොහොමද මැනේජ් කරගන්නෙ කියන අත්දැකීම් එක්ක ජාතික මට්ටමට එනකොට අපි ගොඩක් දේවල් දැනගෙන එන්නෙ.ඒ වගෙම ඒ හැම තැනම ඉන්නෙ ඒ තැන්වලට එන්න පුළුවන් හොඳම කට්ටිය.ඒ නිසා අපිට ඉස්සරහට යන්න හොඳට කල්පනාවෙන් සෙල්ලම් කරන්න වෙනවා.ඒ අවශ්‍යය කරන දැණුම හැම තැනකදිම ගැලපෙන මට්ටමට ලැබෙනවා.‘
රශ්මි සහ නෙතගි හයේ පංතියට දේවපතිරාජයට එනකං ගිහිං තියෙන්නෙ සිරිසුමන විද්‍යාලයටය.එහිදී ත් ක්‍රිකට් ක්‍රීඩා කර ඇතත් මහේෂ් සඳරුවන්ගේ යටතට දේවපතිරාජයේදී යොමුවීම ඔවුන්ගේ ජීවිත වඩා උසස් ක්‍රිකට් ක්‍රීඩාවක් දෙසට හරවන්නට මුල් වී ඇත.
‘ලේසි නැහැ ඉතිං මුල් කාලෙ.මෙයා ඉතිං මාළු රස්සාවට මුහුදු ගියාට කාලයක් තියෙනවනෙ යන්නම බැරි වෙන.ඒ වගෙ අවස්ථාවල දුවලට දේවල් ඕනි වුණාම ඒ වෙලාවෙම අරං දෙන්න විදිහක් නැහැ.සල්ලියක් අතට ලැබෙනකං ඉවසන්න වෙනවා.සමහර වෙලාවට ඔය තියෙන කෙනෙක්ගෙන් පිරිමහ ගන්නවා.‘
අද ගෙදරටත් උදව් කරන දෙන්නා මුල් කාලයේ ක්‍රිකට් අල්ලාගෙන සිට ඇත්තේ ඒ විදිහටය.දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන දුෂ්කරතා ඉවසාගෙන මේ අම්මයි තාත්තයි දෙන්නා ක්‍රිකට් වෙනුවෙන් පවුලේ කෙතරම් දේවල් ක්‍රිකට් වෙනුවෙන් කැප කර ඉවසා සිටින්නට ඇද්ද?
මේ මොහොතේත් නෙතගි ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන තුන්කොන් තරගාවලියේ සිටින කඩුලු රකින්නියන් අතර දක්ෂතාවයන්ගෙන් එංගලන්ත සහ ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නියන් අභිබවා සිටින්නීය.විශේෂයෙන් ස්ටම්ප් කිරීමේ පෙන්වන නිපුනතාවය සහ කල්පනාකාරීත්වය 16 හැවිරිදි නෙතගිගෙන් පෙන්වන්නේ ඊට වඩා පැසුණු බවකි.
‘අපිත් පුංචි කාලෙ සොෆ්ට් බෝල් ගහලා තියෙනවා.ආසාවට ලොකු පිට්ටනිවල යන තරග ගොඩක් වෙලාවට ටීවී එකෙන් බලනවා.අද ඉතිං ඒ පිට්ටනිවලට ගිහිං සෙල්ලම් කරන දරුවො දෙන්නෙක්ගෙ අම්මායි තාත්තයි විදිහට ආඩම්බරෙන් ඉදගෙන ඉන්න ලැබිලා තියෙනවා.දැන් ඉතිං ගෑණු ළමයි කියලා නැහැ.ගොඩක් තරග අවස්ථා පුහුණුවිම් පිරිමි ළමයින්ට වගේම ක්‍රිකට් එකෙන් දෙනවා.ඒක හොඳ දෙයක්.‘
අද එහෙම ක්‍රිකට්වලට ආසා කරපු පවුලක දියණියෝ දෙදෙනාම ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කරති.එක එක ක්‍රීඩකයන්ට සමීප වෙන්නටවත් ඉඩ නැතිව හීන මවපු හැටි වෙනස් වෙලාය.ඒ විරයන් පැමිණ රශ්මිගේත් නෙතංගිගේත් මව් පියන් ලෙස,ඔවුන්ට කතා කරන,සුබ පතන තත්ත්වයට කාලය වෙනස් වී ඇත.
ඇත්තටම හීනයක් වගෙ තමයි!
සිය දූවරුන් දෙදෙනා මේ වන විට ඒ දෙමව්පියන්ට උදා කර දී ඇති ලෝකය ගැන ඔවුන්ට හිතෙන්නේ එහෙමය.තවමත් දෑතේ වීරිය ඇති පියා ඒ වන විටත් මහ මුහුදේ ඉහළ නඟන රළ මත පාවෙමින් ජීවිතය අල්ලා ගන්නට පොර බඳමින් සිටින්නේය.ඒ රළ නඟන බාධක මැඳින් අද ඒ පියා සිය දෙදෙනා සාගරයේ රළ සමඟ බද්ධ වෙන මහද්වීපික ලෝකයම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට ලියැවෙන නම් දෙකක් සකසා ඇත.
හරිම සරල විදිහට කිව්වොත් මාළුකාරයෙක්ගෙ දුවල දෙන්නෙක්ම ශ්‍රී ලංකාවට ගහනවා කියන කතාව අපහාසයක් නොවේය.එක අතකින් ක්‍රිකට් ක්‍රීඩාවේ සිමාසහිත පංති ව්‍යහුය ඉක්මවා එය දක්ෂතා ඇති අයට පෙරට ආ හැකි මට්ටමට රටට ගමට සමීප වී තිබෙන බව කියන්නට හොඳ උදාහරණයකි.ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පළාත් නවයේම දූවරුන්ට පමණක් නොව පුතණුවන්ටද පුදුම උත්තේජනයකි.
මේ උත්තේජන සහ ඇත්ත කතා එක පෙළට දුක හිතෙන ස්වරයෙන් නොව බොහෝ අයගේ දිරිය වඬවන ආකාරය පෙළ ගැස්විය හැකි බව සිතෙන්නේ මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම දෙස බලන විටය.එහි පළාත් අටකම ක්‍රීඩිකාවෝ සිටිති.
මුහුදු රළ පෙරළගෙන ඒ ලවන දිය සමඟ මුසුවන දහදියත් පිළි ගදත් ජාතික මට්ටමේ ඇගයීම් ලැබෙන ක්‍රීඩිකාවන්ගේ ගමණට පාර කපන තැනකට,පොළව එක්ක හැප්පෙන ගොවියාගේ දහදියට ක්‍රිකට්මය ආශිර්වාදය ලැබෙන වැඩ කරන මිනිස්සුන්ගේ දරුවන්ට අයති දෙයක් බවට ක්‍රිකට් පත්වෙමින් තිබෙන මොහොතක් බවට කාලව සියල්ල වෙනස් කර ඇත.ඒ වෙනස විසින් පැහැදිළි කරන හොඳම නිදසුනක් ලෙස රශ්මි සහ නෙතඟි ධීවරයෙකුගේ අභිමානය,වෙහෙස,කැපවීම සහ දිරිය දවසක ලෝකයේ ක්‍රිකට් ජීවිත ගැන ලියවන අපූරු අන්දරයක් කරනු සැක නැත.








