කොළඹ LNW:ඉරාන ජනතාවගේ මූලික අවශ්‍යතා සහ කලාපයේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ සාමුහික අපේක්ෂාවන් සාක්ෂාත් කරන ඉරාන-ඇමරිකා සටන් විරාමය සහ සාම සාකච්ඡාවල සාර්ථකත්වය පවත්වා ගැනීම වෙනුවෙන් චීනය සිය සහාය දක්වන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසනවා. ඔහු මේ බව කියාසිටියේ ඉරාන විදේශ අමාත්‍ය Seyed Abbas Araghchi මහතා සමග ඊයේ(15 ) සිදු කළ දුරකථන සාකච්ඡාවකදී.
එහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා ඉරාන-ඇමරිකා සාම සාකච්ඡාවල නවතම තත්ත්වය පිළිබඳ පැහැදැලි කර ඇති අතර එම සාකච්ඡා ඔස්සේ ප්‍රායෝගික විසඳුම් ලබා ගැනීමට ඉරානය අපේක්ෂා කරන බව ද පවසා තිබෙනවා. එමෙන්ම මැදපෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා චීනය ලබා දෙන දායකත්වය ද ඔහු අගය කළා. ඉදිරියේදීත් චීනය සාමය ළඟා කර ගැනීම සහ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර Wang Yi මහතා එහිදී කියාසිටියේ චීනය සෑමවිටම ස්වෛරීත්ව ආරක්ෂාව සහ ජාතික ගරුත්වය සුරැකීමට ඉරානයට සහාය ලබා දෙන බවයි.
එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනාවලිය යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා වැදගත් ප්‍රවේශයක් වනු ඇති බව ද ඔහු කියාසිටියා. එම යෝජනා අනුගමනය කරමින් වත්මන් අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම, කලාපීය සබඳතා ප්‍රවර්ධනය සහ මැදපෙරදිග ස්ථිර සාමය වෙනුවෙන් චීනය අඛණ්ඩව ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් බව ද Wang Yi මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
දිනූෂි ධීරසිංහ




