සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 170,000කට පමණ පෙර අවසන් වරට දර්ශනය වූ C/2025 R3 (PanSTARRS) වල්ගාතරුව යළිත් වරක් පෘථිවිය පසුකර යාමට සූදානම් බව වාර්තා වේ.
මෙම සුවිශේෂී ආගන්තුකයා 2026 අප්‍රේල් 19 වන දින සූර්යයාට සමීපතම ස්ථානයට ළඟා වන අතර, ඉන් දින කිහිපයකට පසු, එනම් අප්‍රේල් 26 වන දින පෘථිවියට වඩාත් සමීප වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පෘථිවියේ සිට සැතපුම් මිලියන 45.5ක් (කිලෝමීටර් මිලියන 73.2ක්) පමණ දුරින් ගමන් කරන මෙම වල්ගාතරුව, විශ්වීය පරිමාණයෙන් බලන කල ඉතා සමීප ගමනක් ලෙස සැලකේ. සූර්යයාට සමීප වන විට මෙහි දීප්තිය තවදුරටත් වර්ධනය වන බැවින් අප්‍රේල් මාසය පුරා මෙය පැහැදිලිව දර්ශනය වනු ඇත.
වසර එක්ලක්ෂ හැත්තෑදහසක දීර්ඝ කාලයකට වරක් පමණක් සූර්යයා වෙත පැමිණෙන මෙම වල්ගාතරුව, මෙම මාසයේ කෙටි කාල සීමාවෙන් පසු යළිත් අවකාශය වෙත ඇදී යනු ඇත. ඉන්පසු එය නැවත පෘථිවිය දෙසට පැමිණෙන විට අප දන්නා ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබීමට ඉඩ ඇති බැවින්, මනුෂ්‍ය වර්ගයා මීට පෙර කිසිදා නොදුටු මෙම විශ්වීය දර්ශනය නැරඹීම සැබවින්ම ජීවිතයට එක්වරක් පමණක් ලැබෙන අත්දැකීමක් වනු ඇත.



