රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ ඉදිරි කාලගුණ විපර්යාස කෙරෙහි එල්නිනෝ සංසිද්ධියේ බලපෑම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනයන් කර ඇත.
දැනට පවතින දුර්වල එල්නිනෝ තත්ත්වය වසර අවසානය වන විට ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව ජාත්‍යන්තර දත්ත ඇසුරින් මෙහි පෙන්වා දෙයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ජූලි සිට සැප්තැම්බර් දක්වා වර්ෂාපතනය අඩුවීමක් සහ අගෝස්තු මාසයේදී උෂ්ණත්වය ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.
පැසිපික් සාගරයේ ඇතිවිය හැකි සුළි කුණාටු මත මෙම තත්ත්වයන් වෙනස් විය හැකි බැවින්, කාලගුණ නිවේදන පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) අජිත් විජේමාන්න මහතා,
”ඒත් එක්කම කියන්න ඕනේ මේ දිනවල එල්නිනෝ තත්ත්වයක් දැන් හටගෙන තියෙනවා ලෝකයේ. ඒක දැන් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා නෝවා සෙන්ටර් එකෙනුත්. මේ එල්නිනෝවල තත්ත්වය දුර්වල, මධ්‍යස්ථ, ප්‍රබල සහ අති ප්‍රබල විදියට අපි වර්ගීකරණයක් කරනවා. මේ වනවිට එල්නිනෝ තත්වය තියෙන්නේ වීක්. ඒ කියන්නේ දුර්වල මට්ටමක.. නමුත් මේ වනවිට පුරෝකථනයන් තියෙනවා ඒක මොඩරේට් දක්වා වැඩි වෙලා ඊට පස්සේ ප්‍රබල සහ අතිප්‍රබල තත්වයකට යන්න තියෙන හැකියාවක් තියනවා කියලා.
දෙසැම්බර් ජනවාරි, පෙබරවාරි, වගේ කාලයේදී මෙම එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්වයකට යෑමට තියෙන සම්භාවිතාව සියයට හැටකට වඩා වැඩි කියලා පුරෝකථනය කරනවා. කොහොම වුණත් මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑමෙන් අපට ජූලි, අගෝස්තු, වැස්ස ගොඩාක් අඩුවේවි. අගෝස්තු මාසේ උෂ්ණත්වයත් ඉහළ යන්න පුළුවන්. නමුත් ඒ වගේම ගත්තොත් සැප්තැම්බර් මාසයේ දැනට තියෙන ලක්ෂණ එක්ක අපට වැස්ස අඩුවෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පැසිපික් මුහුදේ ටයිෆූන් වගේ සුළි කුණාටු හැදුනොත් මේ තත්ත්වය වෙනස් වෙලා අපට තරමක් නිරිත දිග මෝසම සක්‍රීය වෙලා වැස්ස ලැබෙන්නත් පුළුවන්.
කොහොම වුණත් මේ එල්නිනෝ තත්ත්වය දැන් හටගෙන තියෙන්නේ. එතකොට ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී මෙම තත්ත්වය එක්ක වැස්ස වැඩියෙන් බලාපොරොත්තු වෙනවා සමහර ස්ථානවලට.. ඒ කාලයට ගංවතුරක් පවා එන්න ඉඩකඩක් තියෙනවා කියලා අපි පුරෝකථනය කරනවා.. ඒ වගේම කියන්න ඕනේ මේ නිරිත දිග මෝසමත් මේ තත්වය නිසා දුර්වල වෙනවා. ඒ හේතුවෙන් තමයි මේ නිරිත දිග මෝසමේ අවසාන කොටසේ අපිට වැස්ස අඩු වෙන්නේ. ඊසානදිග මෝසමේ බොහෝ විට නැගෙනහිර, උතුරු පැත්තට වැස්ස වැඩියෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒකත් එල්නිනෝ තත්වයකදී, සමහර වෙලාවට තවත් වෙනත් සාධකත් එක්ක, ගංවතුර පවා එන්නත් පුළුවන්. අපි වරින් වර ඒවා පුරෝකථනය කරනවා. මහජනතාවට අපි කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වරින් වර දෙන නිවේදන පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා”


