සටහන – පුලී
ජූනි 20, LNW (කොළඹ): එක්සත් රාජධානියේ ලන්ඩන් ශාන්ත පැන්ක්‍රස් (London St Pancras) සහ බෙඩ්ෆෝඩ් (Bedford) අතර දුම්රිය මාර්ගයේ සිකුරාදා සවස සිදුවූ බරපතළ දුම්රිය අනතුරකින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මගී දුම්රිය සේවා දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවට සැක පළ වන අතර, අනතුරෙන් පසු දැවැන්ත හදිසි ප්‍රතිචාර මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූපවල දැක්වෙන්නේ East Midlands Railway (EMR) සමාගමට අයත් දුම්රිය දෙකක් බරපතළ ලෙස හානි වී තවමත් පීලි මත රැඳී ඇති ආකාරයයි. එම දුම්රියවලින් අවම වශයෙන් එකක් Luton Airport Express සේවාවක් බව ද සඳහන් වේ.
බෙඩ්ෆෝඩ් රෝහලට තුවාලකරුවන් 50කට වැඩි පිරිසක් පැමිණීමට නියමිත බව වාර්තා වන අතර, රෝහල් කළමනාකාරිත්වය “සියලුම කාර්ය මණ්ඩලය සේවයට කැඳවීමේ” හදිසි නියෝගයක් ද නිකුත් කර ඇත.
අනතුරට ලක්වූ එක් දුම්රියක ඉදිරිපස මැදිරියේ ගමන් කරමින් සිටි මගියෙකු විදෙස් මාධ්‍යයන්ට පවසා ඇත්තේ තමන්ට එය “බෝම්බ පිපිරීමකට මුහුණ දුන්නාක් මෙන්” දැනුණු බවයි. අනතුරෙන් පසු “ලේ ගැලූ මුහුණු, දුමෙන් පිරුණු පරිසරය සහ කලබලකාරී තත්ත්වයක්” දැකගත හැකි වූ බවද ඔහු සඳහන් කර තිබේ.
අනතුරට ප්‍රතිචාර දක්වමින් පොලිසිය, ගිනි නිවන භටයින්, ගිලන් රථ සේවා කණ්ඩායම් සහ ගුවන් ගිලන් රථයක්ද ස්ථානයට කැඳවා ඇත. Bedfordshire Fire and Rescue Service ආයතනය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත්තේ බෙඩ්ෆෝඩ් නගරයට දකුණින් පිහිටි දුම්රිය මාර්ගයක සිදුවූ මෙම සිද්ධියට තම කණ්ඩායම් ද සහභාගී වී ඇති බවයි.
අනතුරේ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලධාරීන් විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත. තුවාලකරුවන්ගේ සහ මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මෙතෙක් නිකුත් වී නොමැත.

