ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:මේ දින වල විශේෂ අවධානයක් යොමුව තිබෙන කාරණයක් තමයි ඩෙංගු මදුරු මර්දනය. වසංගතයක් ලෙස ව්යාප්ත වී තිබෙන ඩෙංගු මදුරු උවදුර හේතුවෙන් මේ වන විට ජීවිත 49ක් අහිමිවී තිබෙනවා.
පසුගිය (14) දිනය වන විට වාර්තා වී තිබෙන සමස්ත රෝගීන් ගණනද 71,000 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරන්නේ.
වැඩිම රෝගීන් ප්රමාණයක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එයිනුත් වැඩිම රෝගීන් කොළඹ දිස්ත්රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දින නිකුත් කළ වාර්තාව අනුව පසුගිය 14 වැනිදා වන වොඉට කොළඹ දිස්ත්රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 14,229 හදුනාගෙන තිබෙන අතර ජූලි මාසයේ එම කාලය තුළ වාර්තා වී තිබෙන සමස්ත ඩෙංගු රෝගීන් ප්රමාණය 15,856ක්.
වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්යාව 21,538ක් ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මෙවන් පසුබිමක තවදුරටත් ඩෙංගු ව්යාප්තිය සිදුවෙමින් පවතින බව සාමාන්යයෙන් වැටහෙන කාරණයක්. එහෙයින් ඩෙංගු මර්දනය සඳහා තම තමන්ගේ පරිශ්ර මෙන්ම පොදු ස්ථාන පිරිසිදු කර ගැනීම වෙනුවෙන් සෞඛ්ය අංශ නිරන්තර දැනුම් දිමක නිරතවෙමින් සිටින අතර සෞඛ්ය, ආරක්ෂක අංශ ඇතුළු රජයේ පාර්ශව විසින් ඒ වෙනුවෙන් මර්දන වැඩසටහන්ද ක්රියාත්මක කර තිබෙනවා.
එවැනි ඩෙංගු මර්දන වැඩසටහනකදී ඊයේ (15) දිනයේදී බත්තරමුල්ල ප්රදේශයේ නිවසක සිදුකළ පරීක්ෂාවකදී මහජන සෞඛ්ය පරීක්ෂක නිලධාරීන් විසින් මදුරු කීටයන් බෝ වී තිබෙන ස්ථාන 25ක් හදුනා ගෙන තිබුණා. මෙම ස්ථාන 25ම හදුනා ගන්නේ එකම නිවසක තිබී.
ගෙවතු අලංකරණය වෙනුවෙන් යොදා ගෙන තිබුණු ස්ථාන 25කම එලෙස මදුරු කීටයන් බෝ වී සිටි අතර ඒ සම්බන්ධයෙන් නිවැසියන්ට නිසි අවබෝධයක් හෝ අවධානයක් නොතිබීම සැබෑ ලෙසම කණගාටුවට කරුණක්.


