මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම වහා අත්හිටුවනු – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ජූලි 22, කොළඹ LNW :

බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවමින් ජනමාධ්‍ය මර්දනයට සහ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස් අයිතියට ආණ්ඩුව එල්ල කරන තර්ජනය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි ලෙස හෙළා දකිමින් සංගමයේ සභාපති සහ ලේකම් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත පරිදි වේ.

මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම වහා අත්හිටුවනු.

බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවමින් ජනමාධ්‍ය මර්දනයට සහ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස් අයිතියට ආණ්ඩුව එල්ල කරන තර්ජනය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි ලෙස හෙළා දකිමු.

ලක්මාලි හේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, කතානායකවරයාගේ නියෝගයෙන් බීබීසී සිංහල සේවයේ කර්තෘ ඉෂාරා ධනසේකර සහ මාධ්‍යවේදී සම්පත් දිසානායක එළඹෙන බ්‍රහස්පතින්දා (23) දින සවස 2.00 ට පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව හමුවට කැඳවා තිබේ.

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසිය දක්වන මන්දගාමී පිළිවෙත පිළිබඳව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) විවෘත අධිකරණයේදී චෝදනා කර තිබිමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවමින් දෝෂාරෝපණය කිරිම පිළිබඳව බීබීසී (BBC) සිංහල සේවයේ වාර්තා කිරීම පදනම් කරගනිමින් එහි මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට ආණ්ඩුව ගෙන ඇති පියවර ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය යනු කිසිදු නිල හෝ නීතිමය බලයක් නොමැති පාර්ලිමේන්තු අභ්‍යන්තරයේ ක්‍රියාත්මක මන්ත්‍රීවරියන්ගේ සුබසාධක මහිලා සමිතියක් පමණි. මෙවැනි පසුබිමක, අදාළ සිදුවීමට මැදිහත් වූ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියගෙන් ප්‍රශ්ණ කිරීමට එම සංසදය ගත් උත්සාහය සහ ඊට අදාළ තොරතුරු සමාජගත කිරීමේ වගකීම ඉටුකළ මාධ්‍යවේදීන් මෙලෙස වරප්‍රසාද කමිටුවට කැඳවීම, ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස් අයිතියට සහ ජනමාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල කළ බරපතල තර්ජනයකි.

ඉතිහාසයේ සෑම අසාර්ථක ආණ්ඩුවක් මෙන්ම වර්තමාන ආණ්ඩුව ද තම අසාර්ථකත්වය සහ අක්‍රමිකතාවයන් වසා ගැනීමටත්, මාධ්‍ය මර්දනය කර භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හකුළා දැමීමටත් විවිධ අණපනත්, නීතිරීති සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අවලස්සන ලෙස පාවිච්චි කරමින් මාධ්‍යවේදීන් බියගැන්වීමටත් කටයුතු කිරීම කණගාටුවට කරුණක් වන අතර, මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්දන ඉතිහාසයට එකතු වන තවත් එක් කළු පැල්ලමක් ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සලකනු ලබයි.

දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් මත මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටු වෙත කැඳවමින් සිදුකරන මෙම තර්ජනාත්මක ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට සහ පාර්ලිමේන්තු බලධාරීන්ට අවධාරණය කර සිටී.

එමෙන්ම ආණ්ඩුවේ මෙම මර්දනකාරී ප්‍රවේශයට සහ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ උත්සාහයට එරෙහිව නැඟී සිටින ලෙස සියළු මාධ්‍ය හා සිවිල් සංවිධානවලින් මෙන්ම පුරවැසියන්ගෙන්ද අපි ඉල්ලා සිටිමු.

රංග බණ්ඩාරනායක
සභාපති

මිතුන් ජයවර්ධන
ලේකම්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...