ඉසුරු පරාක්‍රම
ජූලි 26, ලෝකය (LNW): මාර්වල් චිත්‍ර කතා ඇසුරින් නිර්මාණය වී තිබෙන ලොව විශාලතම සිනමා විශ්වය බවට වූ විරුදාවලිය ලබා තිබෙන මාර්වල් සිනමා විශ්වය (Marvel Cinematic Universe: MCU) වෙත කවුරුත් දන්නා හඳුනන මුහුණතක් එකතු වී තිබේ.
සැන් ඩියේගෝ කොමික්-කොන් (San Diego Comic-Con 2026) හි පැවැත්වුණු මාර්වල් ස්ටුඩියෝස් (Marvel Studios) හි හෝල් එච් (Hall H) ප්රකාශනයේ දී නිල වශයෙන් තහවුරුකළ පරිදි සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී රයන් ගොස්ලින් (Ryan Gosling) මාර්වල් සිනමා විශ්වයේ ගෝස්ට් රයිඩර් (Ghost Rider) චරිතයට පණ පෙවීමට සූදානම් ය.
ස්ටෑන්ඩ්අලෝන් චිත්‍රපටයක් (standalone film) හෙවත් පොදු මාර්වල් කාලරාමුවේ අඛණ්ඩතාවයක් වෙනුවට ස්වාධීන කතාංගයක් ලෙස නිකුත් වීමට නියමිත මෙම චිත්‍රපටය 2028 වර්ෂයේ දී සිනමාහල්වල තිරගතවනු ඇත.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඩෙඩ්පූල් & වුල්වරින් (Deadpool & Wolverine) චිත්‍රපටයේ අධ්යක්ෂ ෂෝන් ලෙවී (Shawn Levy) විසිනි.

රයන් ගොස්ලින් සහ ෂෝන් ලෙවී දැනටමත් 2027 වර්ෂයේ දී තිරගත වීමට නියමිත ස්ටාර් වෝර්ස්: ස්ටාර්ෆයිටර් (Star Wars: Starfighter) චිත්‍රපටයේ එකට වැඩ කරමින් සිටින අතර, එහි රූගත කිරීම් අතරතුර දී දෙපළ අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ගෝස්ට් රයිඩර් ව්‍යාපෘතියට මඟ පෑදී ඇති බව සඳහන්.
“බොහෝ කලක සිට පැමිණි සිහිනයක්”
මාර්වල් ස්ටුඩියෝස් හි ප්‍රධානී කෙවින් ෆයිගී (Kevin Feige) විසින් රයන් ගොස්ලින් ව වේදිකාවට කැඳවූ අතර, එහිදී ගොස්ලින් පවසා සිටියේ මෙය තමන් කලෙක සිට රඟපෑමට කැමැත්තෙන් සිටි චරිතයක් බවයි.
“ඔබ දන්නවා ද, Ghost Rider කියන්නේ මම බොහෝ කාලයක සිට රඟපෑමට බලාපොරොත්තුවෙන් සිටි චරිතයක්. ඉතිං, කෙවින්, ජෝෂ් හොරොවිට්ස්, හෝල් එච්, ඔබට ස්තූතියි!” — රයන් ගොස්ලින්
තවද මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සුදුසුම අධ්යක්ෂවරයා ෂෝන් ලෙවී බවත්, ඔහු නොමැතිව මෙය සිදු කළ නොහැකි බවත් ගොස්ලින් වැඩිදුරටත් පවසා සිටියේය.

Ghost Rider හි ඉතිහාසය
මීට ඉහත, 2007 වසරේදී සහ 2011 වසරේදී නිකුත් වූ ගෝස්ට් රයිඩර් චිත්‍රපටවල ජොනි බ්ලේස් (Johnny Blaze) හෙවත් ගෝස්ට් රයිඩර් ගේ චරිතය නියෝජනය කළේ සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී නිකොලස් කේජ් (Nicolas Cage) විසිනි. විශේෂත්වය වන්නේ, රයන් ගොස්ලින්ගේ සහකාරිය වන ඊවා මෙන්ඩේස් (Eva Mendes) ද 2007 වසරේ නිකුත් වූ පළමු ගෝස්ට් රයිඩර් චිත්‍රපටයේ ජොනී බ්ලේස් ගේ පෙම්වතිය ලෙස චරිතයක් නිරූපණයකර තිබීමයි. මීට අමතරව, මාර්වල් හි ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් (Agents of S.H.I.E.L.D) කතාමාලාවේ ගෝස්ට් රයිඩර් ගේ චරිතය නිරූපණය කළේ සුපිරි රංගන ශිල්පී ගැබ්රියෙල් ලූනා (Gabriel Luna) විසිනි.

මාර්වල් චිත්රකතාවලට අනුව, ගෝස්ට් රයිඩර් යනු තම ආදරණීයයකුගේ ජීවිතය බේරා ගැනීමට අපායේ යක්ෂයාට සිය ආත්මය පුදකළ, ගිනිගෙන දැවෙන හිස්කබලක් ඇති සුපිරි වීරයකුවන අතර, ඔහු රාත්‍රියේ අපායේ දම්වැල් ද අතැතිව ගිනිගෙන දැවෙන මෝටර් සයිකලයක් පදවයි; පීඩකයන්ගෙන් පීඩිතයන් බේරා ගනියි. මාර්වල් චිත්රකතාවලට අනුව ගෝස්ට් රයිඩර් බවට විවිධ පුද්ගලයන් පත්වන අතර, ඒ සෑම පුද්ගලයකුම එම සුපිරි වීරයා බවට පත්වීමට පෙර සාමාන්‍ය මනුෂ්‍යයෙකි. යක්ෂයාට සිය ආත්මය පුදකළ පසු ඔහුගේ ජීවිතය කිසිවිටකත් යළි සාමාන්‍ය තත්ත්වයට පත් නොවේ.

සෝනි (Sony) සමාගම සතුව තිබූ මෙම ගෝස්ට් රයිඩර් චරිතයේ හිමිකම් නැවත මාර්වල් ස්ටුඩියෝස් වෙත වෙත හිමිවීමෙන් පසුව, ගෝස්ට් රයිඩර් මාර්වල් සිනමා විශ්වයේ ප්‍රධාන චරිතයක් ලෙස තිරයට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.
*ඡායාරූප: අන්තර්ජාලය


