සටහන – පුලී
ජූලි 26, LNW (කොළඹ): ඔවුන් දෙදෙනාම වේදිකාවට ගොඩවූයේ පෞද්ගලික ජයග්‍රහණයක් සමරන්න නොව, ශ්‍රී ලාංකීය සිනමාවේ නාමය ලෝකයට රැගෙන යාමටය.
මැලේසියාවේ පැවති Malaysia Golden Global Awards 2026 සම්මාන උළෙලේදී “Riverstone” චිත්‍රපටයේ විශිෂ්ට රංගනයන් වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා ලෙසත්, ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවා ලෙසත් සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලාංකීය සිනමාවට ලැබුණු තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයකි.
සර්ජන්ට් උදයසිරි ලෙස මහේන්ද්‍ර පෙරේරා ඉදිරිපත් කළ චරිතය ප්‍රේක්ෂකයන්ගේ හදවත් ස්පර්ශ කළ අතර, එම රංගනය ඔහුට ජාත්‍යන්තර ඇගයීමක් හිමිකර දුන්නේය. දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය රංග කලාවට කළ සේවය වෙනුවෙන් ලැබුණු මෙම සම්මානය ඔහුගේ කලා ජීවිතයේ තවත් ස්වර්ණමය සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
එමෙන්ම, ප්‍රියන්ත සිරිකුමාර සිය සංවේදී සහ බලගතු රංගනයෙන් හොඳම සහාය නළුවාගේ සම්මානය දිනා ගනිමින් Riverstone චිත්‍රපටයට ද්විත්ව ජයග්‍රහණයක් අත්කර දුන්නේය. මෙම ජයග්‍රහණය චිත්‍රපටයේ රංගන ශක්තිය පමණක් නොව, ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ දක්ෂතාවය ලෝක සිනමා වේදිකාවේ පිළිගැනීමට ලක්ව ඇති බවද යළි තහවුරු කරයි.
මෙම සම්මාන දෙක ශ්‍රී ලාංකීය සිනමාව සඳහා ලැබුණු ගෞරවයක් පමණක් නොව, මෙරට කතාන්දර, සංස්කෘතිය සහ රංගන හැකියාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන නව පියවරක් ද වේ. Riverstone හි මෙම සුවිශේෂී ජයග්‍රහණය, ඉදිරියේදී තවත් ශ්‍රී ලාංකීය නිර්මාණ ලෝක සිනමා උළෙලවලදී විශිෂ්ට ලෙස දිදුලනු ඇතැයි යන බලාපොරොත්තුව තවත් ශක්තිමත් කර තිබේ.

