සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්, ඔහුගේ සොහොයුරු මාහර් අල්-අසාද් සහ ඥාති සහෝදරයෙකු වන අටෙෆ් නජිබ්ට මරණ දඬුවම නියම කර තිබේ.
දමස්කස්හි අපරාධ අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ, සිරියාවේ වසර 14කට ආසන්න කාලයක් පැවති යුද සමයේ සිදු වූ බව කියන බරපතළ අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පැවති නඩු විභාගයකින් අනතුරුවය.
අධිකරණ තීන්දුවට අනුව, බෂාර් අල්-අසාද් පූර්ව සැලසුම් සහගත මිනීමැරුම්, වධහිංසා පැමිණවීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු කර ඇති අතර ඔහුගේ බාල සොහොයුරු මාහර් අල්-අසාද්ට ද පූර්ව සැලසුම් සහගත මිනීමැරුම් සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වරදකරු කරමින් මරණ දඬුවම නියම කර ඇත.
සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූ 2011 වසරේ සිට අසාද් පාලනයට එරෙහිව සිදු වූ විරෝධතා මර්දනය කිරීමේදී සිදුවූ බව කියන ඝාතන, වධහිංසා සහ අනෙකුත් බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අසාද් පාලනයට දිගුකාලීනව චෝදනා එල්ල වී තිබේ.
2024 වසරේදී බලයෙන් පහවීමෙන් පසු රුසියාවට පලාගිය බෂාර් අල්-අසාද් මේ වන විට එරට ජීවත් වන බව සඳහන් වේ.

