ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පවතින වියළි කාලගුණික තත්ත්වය සමඟ නැගෙනහිර පළාතේ මෙන්ම මොණරාගල, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු මට්ටමක පවතින හෙයින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ දැනට පවතින මෙම වියළි කාලගුණික තත්ත්වය නිමා වී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ එළඹෙන ඔක්තෝබර් මාසයේදී පමණ බවයි.
එල්නිනෝ තත්ත්වය හමුවේ උෂ්ණත්වය තවදුරටත් වැඩි වීම සිදුවන හෙයින් අධික උෂ්ණත්වය හමුවේ මහජනතාව ;එස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.
එළිමහනේ ගැවසෙන්නේ නම් සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම, විටින් විට විවේක ගැනීම සහ හැකිතාක් ජලය පානය කිරීම,රෝගී පුද්ගලයින් සහ වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම ආදිය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ලබන අප්‍රේල් දක්වා එල්නිනෝ බලපෑම එල්ල විය හැකි බවට 80%ක සම්භාවිතාවක් පවතින්නේ යැයිද කාලගුණ අනාවැකි පළකර තිබේ.
දිවයින හරහා මේ වන විට නිරිතදිග මෝසම ක්‍රියාත්මක වෙමින් පවතින අතර බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද (13) දිනයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරයි.
ඊට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයකත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ සමස්තයක් ලෙස වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි.
සුළඟේ තත්ත්වය සැලකූ විට උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකියි.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සැප්තැම්බර් මාසය දක්වා තවදුරටත් වියළි කාලගුණයක් අපේක්ෂා කරන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් කාලය තුළ මෙම ප්‍රදේශවලට වර්ෂාව අඩුවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, ‘එල්නිනෝ’ තත්ත්වය හේතුවෙන් එය තවදුරටත් තීව්‍ර විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


