රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW :
අද (14) ජනාධිපති කාර්යාලයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය.
එහිදී, ජනාධිපතිවරයා විසින් ගොවීන්ගේ වී සහ ධාන්‍ය වේලා ගැනීම සඳහා සහනදායී පදනමක් මත වියළුම් යන්ත්‍ර ලබා දීමේ වැඩසටහන, දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි තොග බෙදා හැරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය, ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක සහල් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය, නුවරඑළිය ආර්තාපල් මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ මොනරාගල මාංශ බෝග සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූ අතර, ලොකු ළූණු සහ බඩඉරිඟු ගොවීන් වෙනුවෙන්ද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
තවද, ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් තුළ භාණ්ඩ සහ සේවාවන්හි පාලනය හුදු තරගකාරීත්වයක් මත පමණක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත්, ඒ සඳහා රජය සතුව ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් තිබිය යුතු බවත්, ඒ වෙනුවෙන් ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර, එය ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස යොදාගත යුතු බවත් පෙන්වා දුනි.
ත්‍රිපෝෂ සමාගමේ කටයුතු පිළිබඳවද මෙහිදී විමසා බැලන ලද අතර, එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව ඉදිරි ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමේදී අත්‍යවශ්‍ය වන විදේශ වෙළෙඳපොළ ජය ගැනීමේදී වාණිජ දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යභාරයත්, ජනතාවට ගුණාත්මක භාණ්ඩ සැපයීම සහතික කිරීම වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ ක්‍රියාකාරිත්වයද මෙහිදී ජනාධිපති අනුරගේ අවධානයට ලක් විය.


