සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ටෝකියෝ නගරයට ආසන්න චිබා ප්‍රාන්තයට බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති අතර, දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව තිබේ.
පැය 24ක් තුළ චිබා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 360කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඇතැම් ස්ථානවල පැයකදී පමණක් මිලිමීටර් 100කට වැඩි වර්ෂාවක් වාර්තා වී ඇත. වර්ෂාව හේතුවෙන් මාර්ග සහ දුම්රිය මාර්ග ජලයෙන් යටවී, නිවාස හා වාහන රැසක් ජලයෙන් වැසී ගොස් තිබේ.
ඇතැම් ප්‍රදේශවල නායයෑම් අවදානමක්ද මතුව ඇති අතර ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මෙම වර්ෂාපතනය “අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක” පවතින බව අනතුරු අඟවා ඇත.
අධික වර්ෂාව හේතුවෙන් Narita ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංචාරකයන් 7,000කට ආසන්න පිරිසක් රාත්‍රිය පුරා සිරවී සිටීමට සිදුව ඇති අතර, දුම්රිය හා මාර්ග ප්‍රවාහනයද දැඩි ලෙස අඩාල වී තිබේ. එමෙන්ම විදුලි සැපයුමටද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, චිබා ප්‍රාන්තයේ නිවාස දස දහස් ගණනකට විදුලිය අහිමි වී තිබේ. ජලයෙන් යටවූ මාර්ග සහ නිවාසවල සිරවී සිටි ජනතාව මුදාගැනීම සඳහා ජපාන ආරක්ෂක හමුදාද සහන මෙහෙයුම් සඳහා යොදවා ඇත.
චිබා ආණ්ඩුකාර Toshihito Kumagai පවසා ඇත්තේ ජපානයේ වසර ගණනාවක ආපදා අත්දැකීම් අතර මෙවැනි තත්ත්වයක් තමන් කිසිදා අත්විඳ නොමැති බවයි. ජපාන බලධාරීන් තවදුරටත් ගංවතුර සහ නායයෑම් අවදානම පිළිබඳ ජනතාවට අනතුරු අඟවා තිබේ.
මෙම ව්‍යසනය ජපානයේ පමණක් නොව ආසියාවේ රටවල් කිහිපයකම අසාමාන්‍ය කාලගුණික තත්ත්වයන් වාර්තා වන අවස්ථාවක සිදුවීම විශේෂත්වයකි. කාලගුණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් අධික වර්ෂාපතනය වැනි අතිශය කාලගුණික සිදුවීම්වල තීව්‍රතාව සහ අවදානම ඉහළ යමින් පවතින බවයි.

