සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් BBCයට එරෙහිව පවරා ඇති ඩොලර් බිලියන 10ක අපහාස නඩුවට මුහුණ දීම සඳහා, ට්‍රම්ප්ගේ පවුලේ සමීප සාමාජිකයන්ගෙන් ලේඛන සහ සාක්ෂි ලබා ගැනීමට BBCය උත්සාහ කර තිබේ.
අධිකරණ ලේඛන අනුව, BBC නීතිඥයන් විසින් ට්‍රම්ප්ගේ පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්, දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ බෑනා ජැරඩ් කුෂ්නර් වෙත උපනීති නියෝග (subpoenas) ලබාදීමට පසුගිය මැයි මාසයේදී උත්සාහ කර ඇත.

BBC හි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද නවතම ලේඛනයට අනුව, ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයින්ට එම කතාව පැවැත්වීමේදී ඔහුගේ අරමුණු පිළිබඳව “පෞද්ගලික දැනුමක්” ඇති බවත්, එම නිසා ඔවුන්ගේ සාක්ෂි සහ ලේඛන ජනාධිපතිවරයාගේ අපහාස කිරීම සම්බන්ධ නඩුවට අදාළ වන බවත් තර්ක කෙරේ.
මෙම නඩුවට හේතු වී ඇත්තේ 2024 වසරේ BBCයේ Panorama වැඩසටහනකදී 2021 ජනවාරි 6 වැනිදා කැපිටල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයට පෙර ට්‍රම්ප් කළ කතාවේ වෙනස් ස්ථාන දෙකක් එකට සංස්කරණය කිරීමයි. එම සංස්කරණය හේතුවෙන් ට්‍රම්ප් ප්රචණ්ඩ ක්‍රියාවලට සෘජුවම ජනතාව පෙළඹවූ බවට වැරදි හැඟීමක් ඇති වූ බව BBCය පසුව පිළිගෙන සමාව ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, එම සංස්කරණය අපහාසයක් බව BBCය ප්‍රතික්ෂේප කරයි. ට්‍රම්ප්ගේ කතාවේ අරමුණ, එය අසා සිටි ජනතාවට ඇති වූ හැඟීම සහ එම වැඩසටහනෙන් ඔහුගේ කීර්තිනාමයට සිදුවූ බව කියන හානිය පිළිබඳව තම ආරක්ෂාව සඳහා මෙම පවුලේ සාමාජිකයන්ගෙන් තොරතුරු අවශ්‍ය බව BBC නීතිඥයන් පවසයි.
කෙසේ වෙතත්, ඔවුන්ට පුද්ගලිකව උපනීති නියෝග ලබාදීමේ උත්සාහවලට බාධා එල්ල වී ඇති අතර, ට්‍රම්ප්ගේ පවුලේ සමීප සාමාජිකයන්ට ආරක්ෂාව සපයන එක්සත් ජනපද රහස් සේවයේ මැදිහත්වීමද ඊට බලපා ඇත. BBCය මේ වනවිට වෙනත් ක්‍රමයකින් එම නියෝග ලබාදීමට අධිකරණ අවසරය ඉල්ලා තිබේ.
ට්‍රම්ප් මෙම නඩුවෙන් ඩොලර් බිලියන 10ක වන්දි ඉල්ලා සිටින අතර, BBCයේ සංස්කරණය තම කීර්තිනාමයට සහ ව්‍යාපාරික වටිනාකමට හානි කළ බව ඔහු චෝදනා කරයි. නඩුව තවමත් විභාග වෙමින් පවතී.

