යාපහුවෙන් පැරණි නගරයක් හමුවෙයි? මින් පෙර හමු නොවූ භූගත මැටි නල පද්ධතියක් ඒ අතර??

අගෝස්තු 17, කොළඹ (LNW): අතීතයේ භික්ෂූන් වහන්සේලා වැඩවිසූ විහාරාරාම මෙන්ම රජවරුන් ජීවත් වූ මාළිගාවල නටබුන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් හමුවී තිබුණ ද, සාමාන්‍ය ජනතාව ජීවත් වූ පැරණි නගරයක සාධක යාපහුව රාජධානිය ආශ්‍රිතව සිදුකළ නවතම පුරාවිද්‍යා කැණීම්වලදී හමුවී තිබේ.

පොලොන්නරුව රාජධානිය දකුණු ඉන්දියානු කාලිංග මාඝගේ ආක්‍රමණයත් සමග බිඳවැටීමෙන් පසු, පාලකයින් මෙන්ම රටවැසියන්ද ලංකාවේ නිරිතදිග දෙසට සංක්‍රමණය විය. එහිදී ආරක්ෂාව පදනම් කරගනිමින්, හුදකලා කඳු වැටියක් වූ යාපහුව දළදා වහන්සේගේ වැඩවාසයටත් රජුගේ වාසයටත් තෝරා ගන්නා ලදී. එම සියලු සාධක එක්තැන් කරමින් යාපහුව ලංකාවේ සිව්වෙනි රාජධානිය බවට පත්විය. එහි වූ සෝපාන පද්ධතිය සහ සිංහ රූප ලෝකයේම අවධානය දිනාගත් නිර්මාණ වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මහාචාර්ය මංගල කටුගම්පල මහතාගේ උපදෙස් හා නායකත්වය යටතේ යාපහුව රාජධානියේ නව කැණීම් කටයුතු ආරම්භ කරන ලදී. මෙම පුරාවිද්‍යා ගවේෂණය සඳහා LiDaR (ලයිඩර්) තාක්ෂණය සහ GPR (Ground Penetrating Radar) හෙවත් කැණීම් නොකර පොළොව අභ්‍යන්තරය විනිවිද නිරීක්ෂණය කිරීමේ නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කර තිබීම විශේෂත්වයකි.

කැණීම් කණ්ඩායම භාරව කටයුතු කරන මහාචාර්ය මංගල කටුගම්පල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා සිටියේය:

“අපි දැන් මේ ඉන්නේ යාපහුව රාජධානියේ පිටත නගරය ලෙස හඳුනාගෙන තිබුණු කොටසෙයි. 1904-1909 කාලයේදී එච්.සී.පී. බෙල් මහතා මේ ප්‍රදේශයේ කළ පර්යේෂණ එක්ක සිතියමක් නිර්මාණය කළා. ඒ සිතියමේ අපි මේ ඉන්න ප්‍රදේශය දක්වලා තිබුණේ කුඹුරක් විදිහට. අපි මෙතැනට එනකොට දැනන් හිටියේ ඒ ටික විතරයි.

ඒ නිසා අපේ අරමුණ වුණේ 13 වන සියවසට අයත් පිටත නගරයේ තිබුණු පුරාවිද්‍යාත්මක භූමි දර්ශනය මතුකර ගැනීමයි. මෙහිදී ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකින් හමු නොවූ අපූර්ව මැටි භූගත නල පද්ධතියක් සොයාගැනීමට අපට හැකිවුණා.”

එක්ම ගොඩනැගිල්ලක භූගත නල පද්ධති 3ක් පවතින අතර, ඒවා එකිනෙකට සමාන්තරව එකම දිශාවකට පිහිටා තිබේ.

මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ මහාචාර්යවරයා සඳහන් කළේ, එක් පසෙකින් මහතින් වැඩි සහ අනෙක් පසින් කුඩා වන ලෙස සකස් කළ මැටි නල එකිනෙක සම්බන්ධ කරමින් ඇතුළත වූ දියරමය යමක් පිටතට යැවීමට උත්සාහ කර ඇති බවයි. එමෙන්ම ඊට යටින් තවත් නල පද්ධතියක් සමාන්තරව ගමන් කරන අතර, එහි විශේෂත්වය වන්නේ පිටත සිට ඇතුළතට පීඩනයක් (Pressure) යොදමින් යමක් ප්‍රවාහනය කර තිබීමයි.

පෙර අවස්ථාවලදී යාපහුවෙන් විදේශීය කාසි හමුවී තිබුණද, මෙවර කැණීම්වලදී ශ්‍රී ලංකාවේ ඉතිහාසයට නව අර්ථකථනයක් දිය හැකි මට්ටමේ අනාවරණයන් රැසක් සිදුවී තිබේ:

  • දේශීය කාසි නිෂ්පාදනය: තඹ ලෝහය උණුකර කාසි අච්චුවලට වක්කර සකස් කරන ලද තඹ ගුලි, තලන ලද කාසිවල මූලික අවස්ථා සහ නිපදවන ලද කාසි කිහිපයක්ම හමුවී ඇත.
  • ජනජීවිතයට අදාළ ද්‍රව්‍ය: මැටි පහන්, මැටි කලස්, චීන පිඟන් භාණ්ඩ කොටස්, ලෝහ ඇණ සහ විවිධ මැටියෙන් කළ නිර්මාණ රැසක් හමුවී තිබේ.

මෙසේ හමුවූ භාණ්ඩ භික්ෂූන් වහන්සේලා භාවිත කළ ඒවා නොවන අතර, එමගින් ආගමික අර්ථයකට වඩා නාගරික ලක්ෂණ සහ එකල පැවති මානව ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි සාධක ලැබෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

යාපහුව රාජධානිය පිළිබඳව මෙතෙක් නොදන්නා කරුණු රැසක් ඉදිරියේදී මෙම කැණීම් හා පර්යේෂණ හරහා අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...