ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විසින් ඊයේ (16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ, මෙට්‍රෝ බස් රථ සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයකට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට දිගින් දිගටම අපහාස කරන අය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.
“මෙට්‍රෝ බස් එක් ඈඳාගෙන දිගින් දිගටම ගහනවා, ගහනවා, මට අපහාස කරනවා. විශෙෂයෙන්ම මට මේ ‘බස් ගැමුණු’ කියනවා දිගින් දිගටම. මම කැමති නැති දෙයක්. මට නමක් තියෙනවා ගැමුණු විජේරත්න කියලා. එහෙම කතා කරන්න. ගරුත්වයක් දෙන්න ඕනෙ මනුස්සයෙකුට. මගේ මනසට දිගින් දිගටම වධ දෙනවා”
එසේම මෙට්‍රෝ බස් රථ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ පැවසීය.
“මෙට්‍රෝ බස් කියන්නේ පහුගිය කාලේ පුරාම අලුතින් ආපු කතන්දරයක් නෙමෙයි. මේක මම 2023 ආර්ථික අර්බුදයෙන් පස්සේ පටන් ගන්න යෝජනාවලියක් ඉදිරිපත් කළා ප්‍රවාහන අමාත්‍යාංශයට. මා සතුව ඒ ලිඛිත ලියවිල්ල තියෙනවා. ඒ සම්බන්ධව අපි චීනයේ එක්සීම් බැංකුවේ ණය අරගෙන තමයි කරන්න ආවේ. මහජන මුදල්වලින්, මහජනතාවගේ බදු මුදල්වලින් නෙමෙයි අපි කරන්න හැදුවේ. මම හැමදාම හැම ආණ්ඩුවකින්ම බැට කාපු පුද්ගලයෙක්… මේ බස්ම මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ලේලන්ඩ් ආයතනයෙන් ගෙනාවා. ලේලන්ඩ් ආයතනය රජය සතු කොටස් තියෙන ආයතනයක්. එතකොට රජයේ කොටස් තියෙන මේ ආයතනය මීට අවුරුදු 10කට පහත තට්ටුව තියෙන මෙවැනිම බස් 60ක් ගෙනාවා. ඒ ගෙනාපු බස් දැන් ලේලන්ඩ් ආයතනය ශ්‍රීලංකන් එකට ධාවනය කරනවා. කරුණාකරලා පනාගොඩ ලේලන්ඩ් ආයතනයට ගිහිල්ලා බලන්න තවත් මෙවැනිම බස් 20ක් තියෙනවා. මේක අරුමයක් නෙමෙයි මේක කරන්න බෑ. ඩීසල් වැඩ කරන්නේ කිලෝමීටරයකට 1.5ක් නැත්නම් 2ක්… මෙවැනිම ව්‍යාපෘතියක් පටන් ගත්තා ගෝඨාභය මහත්මයාගේ කාලේ. ඒක අසාර්ථක වුණා, ඒකට විශාල පාඩුවක් සිද්ධ වුණා”


