ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළුව සිව් දෙනෙකුට එරෙහිව, නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
මහාචාර්යවරයා පැහැර ගැනීම සිද්ධ වන්නේ 2006 වසරේ දෙසැම්බර් මාසයේ දී කොළඹ අධිආරක්ෂිත කලාපයක දී ය.
මෙම සිදුවීමට අදාළව පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2025 අප්‍රේල් 08 වැනිදා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
මහාචාර්යවරයා 2006 දෙසැම්බර් 15 වන දා සිට අතුරුදහන්ව ඇති අතර කොළඹ පැවති රැස්වීමකට ගොස් ඔහු නැවත නිවසට නොපැමිණි බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් පොලීසියට පැමිණිලි කර තිබුණි.
අනතුරුව මෙම අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී මහාචාර්යවරයා පැහැරගෙන ඇති බවට අනාවරණය විය.
කෙසේවෙතත් එම සිදුවීමෙන් වසර 19කට පමණ පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්විය.


