විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස්

ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පදිංචිව සිටින ලක්ෂ්මී පීරිස් මෙයට වසර 50 කට පෙර මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයෙහි ඉදිරියෙන් වැඩ කළ කාන්තාවකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ,රොනී ද මැල් , ඒ සී එස් හමීඩ්, රන්ජන් විජේරත්න ඇමතිවරුන්ගේ ,සහ ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ මාධ්‍ය ,ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත. 1965 - 1995 වකවානුවේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ක්ෂේත්‍රය තුළ වූ සංසිද්ධීන් බොහොමයක ඇය ඉතා සමීප සාක්ෂිකාරියකි. දැනට ඇමෙරිකාවේ වෙසෙන ලක්ෂ්මී පීරිස් පසුගියදා ලංකාවට පැමිණ සිටි අවස්ථාවක අතීත දේශපාලනයේ අඳුරු තැන් කිහිපයක් ඇයගෙන් හෙළිකර ගැනීමට වෑයම් කළෙමි.

ඔබ ඇමරිකාවේ පුරවැසියෙක් ද ?

ඔව්, මම 1995 සිට එක්සත් ජනපදයේ ජීවත් වෙනවා. මගේ ඥාතීන් ,නිවස සහ බොහොමයක් සම්බන්ධතා තිබෙන්නේ ලංකාවේ. එනිසා නිතර ලංකාවට පැමිණෙනවා.

ඔබේ මාධ්‍ය ජීවිතය පුවත්පත් කලාවෙන් ආරම්භ වූ බව අසා තිබෙනවා ?

මම ප්‍රථමයෙන්ම දවස සහ SUN පත්තර වල විදේශ ප්‍රවෘත්ති කර්තෘවරයා හැටියට රැකියාවට සම්බන්ධ වුණා. ඊට පස්සේ 1968 දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී තනතුරට ගියා. වැඩ කළේ විදේශ අමාත්‍යාංශයේ . මුදල් ඇමති රොනී ද මැල් මාව මුදල් අමාත්‍යංශයට ගත්තා. ටිකකලක් මුදල් අමාත්‍යාංශයේ වැඩ කරද්දි මා විදේශ අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක හැටියට පත්වුණා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක තනතුරෙන් පසු කොහාටද ගියේ ?

ඊළඟට මම ගියේ ජනාධිපති ලේකම් කාර්යාලයට. ඒක සිද්ධ වුණේ මෙහෙමයි. ජනාධිපති ජේආර් ජයවර්ධන ගේ ජනාධිපති ප්‍රවෘත්ති ලේකම් හැටියට කටයුතු කරපු අය තානාපති තනතුරක් ලැබිලා 1980 ඉන්දියාවට ගියා. රාජ්‍ය ඇමති ආනන්ද තිස්ස ද අල්විස් මාව ඒ තනතුරට රෙක්මන් කර තිබුණා.

ජනාධිපති ජේ ආර් ජයවර්ධන සම්බන්ධව ඔබේ පෞද්ගලික අත්දැකීම කුමක්ද ?

හරිම සිම්පල් මනුෂ්‍යයෙක්. උදව්වක් ඉල්ලගෙන ජනාධිපති කාර්යාලයට කවුරු ආවත් ඒ උදව්ව ඉෂ්ට කරල දුන්නා. එවකට විපක්ෂයේ අයත් බොහෝ දෙනෙක් පැමිණ උදව් ලබාගත්තා. ඒ බොහෝ දෙනා එළියෙ ජේ ආර්ව තදින් විවේචනය කරන අය.

මොනවද ජනාධිපති මාධ්‍ය ලේකම් හැටියට ඔබට පැවරී තිබුණු රාජකාරි?

මම උදේට ජනාධිපති ආර්යා එලීනා ජයවර්ධනගේ ලිපි ලේඛන වල රාජකාරි ඉටු කළා. ඒ කටයුතු හමාර වෙලා තමයි ජනාධිපති කාර්යාලයට යන්නේ.

කොහේදීද එලිනා ජයවර්ධන ගේ ලිපි ලේඛන වල කටයුතු කළේ?

වෝඩ් ප්ලේස් එකේ ගෙදරට ගිහින් එලීනා මැඩම්ගෙ ලිපි ලේඛන කටයුතු ඔක්කොම අවසන් කරල නියමිත වෙලාවට ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා.

ඔබ ජනාධිපතිවරයා ගේ ලේකම් හැටියට කටයුතු කළ කාලපරිච්ඡේදය ඉතාමත් තීරණාත්මක කාලයක්. එක පැත්තකින් උතුරේ යුද්ධය. අසූ දෙකේ නියමිත මහ මැතිවරණය පවත් වන්නේ නැහැ . යාපනය සංවර්ධන සභා මැතිවරණය. විශාල ගැටුම් ඇතිවෙනවා .යාපනය පුස්තකාලය ගිනි තබනවා .1983 ජාතිවාදී අරගලයෙන් රටම ගිනි ගන්නවා මට දැනගන්නට අවශ්‍ය මේ ගින්දරවල උණුසුම ජනාධිපති මන්දිරයට දැනුණෙ කොහොමද ?

1983 රටේ ජාතිවාදී කලබල ඇති වෙනකොට මම මිසිස් ජයවර්ධන ගෙන් ඇහුවා

” මැඩම් ලොකු විනාශයක් වෙනවා ඇයි ජනාධිපතිතුමා මොකක්වත් පියවරක් ගන්නේ නැත්තෙ” කියලා. එතකොට එලීනා ජයවර්ධන මැතිනිය මට කිව්වා

" අපිට හුඟක් ටැමිල් ප්‍රෙන්ඩ්ස්ල ඉන්නවා . ඒ ගොල්ලෝ හැම පැත්තෙන්ම මට කෝල් කර කර කියනවා. අපේ ගෙවල් වලට ගහනවා අපට ආරක්ෂාවක් නෑ. අපේ ජීවිත බේරා දෙන්න" කියලා.

ඒත් ජනාධිපති ජයවර්ධන දවස් තුනක් යනකම් දෙමළ ජනතාවට සිදු වූ විනාශය වලක්වන්න කිසිම පියවරක් ගත්තේ නැහැ?

“ජනාධිපති දෙමළ මිනිස්සුන්ගෙ පැත්ත අරගෙන සිංහලයො මර්දනය කරන්න ගියා කියලා රටේ මිනිස්සු කියාවි ඒ නිසා තමයි ටිකක් ප්‍රමාද වුණේ “මැඩම් කිව්වා මට මතකයි මම වෝඩ් ප්ලේස් බංගලාවේ ඉන්දැද්දි එක දිගට කෝල් එනවා

“Our houses in attack. We are getin healp” කියලා මිසිස් ජයවර්ධනගේ යාලුවෝ ෆෝන් කරමින් අඬා වැටෙනවා. එලීනා මැඩම් කෑගහනවා

” diky do something.., diky do something …,දිගින් දිගටම කෝල් එනකොට මැඩම්ට දරාගන්න බැරිව ගියා.

“යුද්ධයද සාමයද දෙකෙන් එකක් ජනතාව තෝරා ගනී ” කියලා ජනාධිපති ජයවර්ධන කියූ බව ඒ දිනවල මාධ්‍යවල පළ වුණා ?

එහෙම පත්තර වල ගියාට එහෙම අදහසක් ජනාධිපතිතුමාගේ තිබුණෙ නැහැ.

ඔබ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩට සම්බන්ධවූ 1980 දි තමයි යාපනය සංවර්ධන සභා මැතිවරණය පැවැත්වුණේ, අග්නිදිග ආසියාවේ තිබුණ විශාලම පුස්තකාලය වූ යාපනය පුස්තකාලයට ගිනි තිබ්බේ. ඔබ හිටියේ ජනාධිපති ළඟමයි. ඔහු ඒ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය ඔබ දන්නවාද. ඔහු විසින් සිදුකළ මේ විනාශය ගැන ඔහු තුළ කම්පාවක් තිබුණෙ නැද්ද ?

ඇත්ත වශයෙන්ම එතුමා කම්පා වුණා. යාපනය පුස්තකාලය ගිනි තැබූ බවට චෝදනා එල්ල වූ අය කැඳවා ප්‍රශ්න කළා .

උඹලා එහෙම දෙයක් කළා ද ඇහුවා.

කවුද එසේ කැඳවු චෝදනා එල්ල වූ අය?

ඇයි ඉතින් ගාමිණී දිසානායකට නේ චෝදනා එල්ල වුණේ

ඔබ කියන්නේ ජනාධිපතිවරයා ගාමිණී දිසානායක කැඳවා යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන ප්‍රශ්න කළා ද?

ඔව් ඔහු කැඳවා ප්‍රශ්න කළා.

"උඹේ නමත් මේකට ගෑවිලා යනවා මම හිතන්නේ නෑ ගාමිණී ඒවගේ දුෂ්ට අපරාධයක් කරයි කියලා"

ඔබ හිතන්නේ කවුද ඒ අපරාධය කළේ. යාපනය පුස්තකාලය ඉබේ ගිනි ගත්තේ නැහැනේ. ඉතිහාසයට එක් වී තිබෙන්නේ යාපනය පුස්තකාලය එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගිනි තැබූ බව. ඔබත් ඒ අවස්ථාවේ රජයේ තනතුරක හිටියේ ?

මම හිතන්නේ නෑ දේශපාලන නායකයෙක් එහෙම වැඩක් කරයි කියලා. ජේ ආර් ජයවර්ධන එහෙම දෙයක් කරවයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. සමහර විට ආණ්ඩුව අපකීර්තියට ලක් කරන්න තග්ස්ලා කරන්න ඇති.

ඔබ නිකමටවත් අහල නැද්ද 1980 සංවර්ධන සභා මැතිවරණය දවසේ කුරුණෑගලින්, කැලණියෙන් ඔය ඔබ කියන තග්සලා ආණ්ඩුවේ ඇමතිවරු විසින් යාපනයට ගෙන ගියා කියලා.?

ඔව්, ඉතින් එහෙම දෙයක් වුණා නම් ඒකෙ බ්ලේම් එක එන්නේ රජයට නේ.

යපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සභා මැතිවරණය මුළුමනින්ම කඩාකප්පල් කළා. ඡන්ද පෙට්ටි හමුවුණේ හෝටල්වල සහ මුහුදු වෙරළේ තිබී. මේ ගැන ජනාධිපතිවරයා අඩු තරමින් සාකච්ඡා කරනවා හෝ ඔබට ඇහුණේ නැද්ද?

වෝඩ් ප්ලේස් බ්‍රෙමා නිවසේ හැමදාම උදෑසන බ්‍රෙක් ෆස්ට් ටේබල් එකේ රැස්වීමක් තිබුණා. මම හැමදාම ඒ අවස්ථාවට සහභාගී වන්නේ නැහැ. නමුත් බොහෝ දිනවල සාකච්ඡා කරන දේවල් මට ඇහුණා.

කවුද උදෑසන භෝජන සංග්‍රහයට සහභාගී වුණේ. මොනවද එහිදී ඔබට ඇසුණේ.?

ජනාධිපතිතුමා ඉන්නවා. එලීනා මැඩම් ඉන්නවා. පුතා රවි ජයවර්ධන ඉන්නවා සමහර දවස් වල ලේක් හවුස්`චෙයාමන් බෝධිනාගොඩ ඉන්නවා. ජනාධිපති ලේකම් මැණික්දිවෙලත් ඉන්නවා. ඒ ඔක්කොම ජනාධිපතිතුමාගේ යාලුවෝ. එතන රටේ එදිනෙදා පවතින ප්‍රධාන ප්‍රශ්න සාකච්ඡා වුණා. සමහර සාකච්ඡාවලදී ජේ ආර් ෂොක් වුණා වගේ බලාගෙන හිටියා කතා කළේ නෑ.

ඔබ එහි සිටියදී සිදු වූ විශේෂ සිදුවීම් තියෙනවද ?

දවසක් උදේ මම කාර් එකෙන් බැහැලා බංගලාවට ඇතුළු වුණා. එතකොට ජනාධිපතිතුමා ගේ ඇතුලෙ ඉඳන් ඔෆිස් රූම් එකට යන්න ආවා. එතකොටම ආලින්දයේ තිබූ ටෙලිෆෝනය නාද උනා

මම ෆෝන් එක ගන්න ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ෆෝන් එක ගත්තා.

"නැහැ නැහැ තවම නම් එහෙමනැහැ " කියලා ජනාධිපතිතුමා පිළිතුරු දුන්නා.

ඊට පස්සේ මගේ දිහාට හැරිලා හිනාවෙලා ඇහුවා

“මේ මුල්ලේරියාව ද” කියලා.

බලනකොට කවුරුහරි කතා කරපු කෙනා අහල තියෙන්නෙ

“ඔය පිස්සන් කොටුව ද ” කියලා. ඒකට තමයි උත්තර දුන්නේ “තවම නම් එහෙම නැහැ “ කියලා.

ඊට වඩා සීරියස් අවස්ථාවක් ඔබට මතක නැද්ද ?

මට මතක හැටියට ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව 1987 ජේවීපී එක සංවිධානය කරපු විශාල පෙළපාළියක් ගාලු පාර දිගේ කොළඹට ආවා. ඒ වෙලාවෙ අපි හිටියෙ කොටුවේ ජනාධිපති මන්දිරයේ. පෙළපාලිය කොල්ලුපිටිය හරියෙ එනකොට අපට ආරංචිය ආවා. මේ ගොල්ලෝ එන්නේ ජනාධිපති මන්දිරයට ගහන්න කියලා. මම ජනාධිපතිතුමා ඉන්න ඔෆිස් කාමරේට දුවගෙන ගියා. ආරක්ෂාවට ඉන්න පොලිසියේ කට්ටිය වෝකිටෝකි කනේ ගහගෙන එහාට මෙහාට දුවනවා. ප්‍රසිඩන්ට් නිකටට අත තියාගෙන කල්පනා කරනවා මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. ආරක්ෂාවට හිටපු නියෝජ්‍ය පොලිස්පතිට කතා කරලා කිව්වා මගදී වෙඩි තියන්න එපා විසුරුවා හරින්න කියලා. මට මතක ගෝල්ෆේස් වට රවුම හරියට එද්දි තමයි කඳුළු ගෑස් ගහලා වෙඩි තිබ්බේ. ඒ සිදු වීමේදී කවුරුවත් මැරුණේ නෑ. සෙරෙප්පු සපත්තු පාර පුරා තිබුණා.

1983 ජාතිවාදී කෝලාහලයෙන් පස්සේ ආණ්ඩුව හදිසියේම ජනතා විමුක්ති පෙරමුණත් , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් , නව සම සමාජ පක්ෂයත් , කියන පක්ෂ තුන තහනම් කළා. ඔබ ඒ ගැන යමක් දන්නවද?

ජාතිවාදී ගැටුම් පිටිපස්සේ මේ පක්ෂ ඉන්නවා කියලා කනින් කොණින් ආරංචි තිබුණානේ.

මොනවද ඒ ආරංචි. ඒ දේශපාලන පක්ෂ ජාතිවාදී අරගලයට සම්බන්ධයි කියලා කණින් කොණින් කිව්වේ කවුද ?

එහෙම නිශ්චිතව කියන්න මම දන්නෙ නෑ මේ ගොල්ලෝ මේවාට මිනිස්සු උසි ගන්වනවා කියලා තමයි ආරංචි වූණේ.

බුද්ධි අංශ වාර්තා ලැබෙනවනේ ඒ පිළිබඳව සාකච්ඡා කරලා තමයි තහනම් කරන්න ඇත්තේ. වෙන හේතුවක් ගැන කියන්න මම දන්නේ නෑ.

ඒ ගැන විමර්ශනය කරලා ඒ පක්ෂ ජාතිවාදී අරගලයට සම්බන්ධ නැත්නම්. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරගෙන යන්න ආණ්ඩුව ඉඩ නොදුන්නේ ඇයි?

ආණ්ඩුවේ තීරණ වලට බලපාන කරුණු අපට දැනගන්න ලැබෙන්නේ නැහැනේ.

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාව ඔබට මතකද?

ඔව් හොඳට මතකයි. එදා රජීව් ගාන්ධි ලංකාවට ආවා. හරිම කලබලකාරී දවසක්. රටම අඳුරු වෙලා තිබුණේ.

ඇඳිරි නීතිය දාලනෙ ගිවිසුම ගැහුවෙ. මොකක්ද එදා ඔබට පැවරී තිබුණු රාජකාරිය.?

මම ජනාධිපති මාධ්‍ය ලේකම්. මට පැවරිලා තිබුණේ පත්තර ගුවන් විදුලිය සමඟ සම්බන්ධතා පැවැත්වීම. මම වැඩි පිරිසක් කැඳෙව්වේ නැහැ. කැඳවපු වැඩි දෙනෙක් ආවෙත් නෑ . හැමෝම හිතන්න ඇති මොනවා හරි කලබලයක් වෙයි කියලා.පත්තරකාරයොත් පස්ස ගහලා හිටියේ. රජ ගෙදරදි තමයි ගිවිසුම අස්සන් කළේ.

ඇමතිවරු කවුද ඒ අවස්ථාවට සහභාගි වුණේ?

අගමැති ප්‍රේමදාස ආවේ නෑ . හමීඩ් හිටියා , ගාමිණී හිටියා, රොනී හිටියා.

අගමැති ප්‍රේමදාස විරුද්ධ මතයක් ගෙන යන බව ජනාධිපතිවරයා දැන සිටියාද?

මොකද නොදන්නේ. දන්නවා. “මම ඉන්දියාවට ලංකාව විකුණනවා නෙමෙයි. විස්තර කියල දෙන්න එන්න” කියල ජේ ආර් පණිවුඩ යැව්වට ප්‍රේමදාස ආවේ නෑ. පස්සේ ප්‍රේමදාස හම්බවෙන්න එයාගෙ කකුල් දෙක ළඟට ජේ ආර් ගියා. රාජිව් එන්නෙ අපිව අල්ලගන්න නෙමෙයි කියලා පැහැදිලි කරලා දෙන්නයි ගියේ.

කොහාටද ගියේ?

අරලියගහ මන්දිරයට. ජනාධිපතිතුමා යනකොට මමත් ගියා.

ඉතින් මොකද වුණේ ?

මම හිතන්නේ ජනාධිපතිතුමා ඒවි කියලා ප්‍රේමදාස බලාපොරොත්තු වුණේ නෑ . අරලිගහ මන්දිරය ඇතුලට ගිහින් සැටියේ වාඩිවෙලා දෙන්න කතා කළා. ජනාධිපතිතුමා ගිවිසුමේ පර්පස් එක පැහැදිලි කළා. වැඩි වෙලාවක් හිටියේ නෑ.

ජනාධිපතිතුමා පිටත් වුණාට පස්සෙ මම යන්න හදනකොට අගමැති ප්‍රේමදාස මාව නතර කළා. ලක්ෂ්මි මේක මෙන්න මෙහෙමයි ලිය වෙන්න ඕන කියලා කිව්වා. කොහොමත් මම ලියන්නෙ අගමැතිට අවශ්‍ය විදියට නෙවෙයි. ජනාධිපතිට අවශ්‍ය විදිහට.

ගිවිසුම අත්සන් තැබීමෙන් පස්සේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී නාවික හමුදා සෙබලෙක් අගමැති රජීව් ගාන්ධිට පහර දෙන අවස්ථාවේ ඔබ එතැන සිටිය ද ?

ඔව්, අගමැති රජිව්ට සමු දෙන්න ආචාර පෙළපාළිය සූදානම් කරල තිබුණා.

නේවි එක පෙළ ගැහිලා හිටියා. වේදිකාවේ ජනාධිපති ඇතුළු සම්භාවනීය අමුත්තන් හිටියා. ඇමති ඊ එල් සේනානායකගේ වයිෆ් හිටපු තැන තමයි මම හිටියේ. පොලිසියේ ලොක්කෝ එහෙම හිටියා. අගමැති රජිව් ආචාර පෙළපාලිය පිළිගනිමින් එහා කෙළවරේ ඉඳලා මෙහා කෙලවරට වලට ගමන් කළා. ඒ අතර ටකස් ගාන සද්දයක් ඇහුණා. මට තේරුණේ කවුරුහරි අප්පුඩියක් ගැහුවා වාගේ. එතකොටම මම දැක්කා රජිව් බෙල්ල නවාගෙන වේදිකාව දෙසට ආපසු එනවා. සෝනියා ගාන්ධි හිටපු තැනට ඇවිත් නතර වුණා. මම හොදටම දැක්කා ජැකට් එකට ‍යටින් අගමැති රජිව් ගාන්ධිගේ බෙල්ල රතුපාටට තැලිලා තිබුණා.

අගමැති රජිව් ගාන්ධි කතා කළේ නැද්ද ?

නැහැ ඇවිත් අපිට පිටුපාලා ජනාධිපතිතුමා ළඟම හිට ගත්තා. පරිවාර ඇමැති රොනී ද මැල් එතන හිටියා.

ජනාධිපති ජේ ආර්, අගමැති රජිව් සමග මොනවද කිව්වෙ.?

මොනවත් කියන්න වෙච්ච සිදුවීම ජේ ආර් දැක්කෙ නෑ. මම හොඳටම දුටුවා එතුමා GPO බිල්ඩිම දිහා බලාගෙන හිටියේ. රජිව් ගාන්ධිට ගහනකොටම පාරේ එහා පැත්තේ සිටි ෆොරීන් ජර්නලිස්ට්ලා.

“did you see that, did you see that president “

කියලා කෑ ගැහුවා. එතකොට තමයි ජනාධිපතිතුමා කලබල වුණේ.

ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ජේ ආර් සමඟ මොනවත් කතා කළේ නැද්ද ?

නැහැ නැහැ , ඉක්මනට හෙලිකොප්ටරයට ගෙන යන්න කියලා ජේ ආර් උපදෙස් දුන්නා . රජිව්, සෝනියා ගාන්ධි ඇතුළු ඉන්දීය නියෝජිත පිරිස දඩිබිඩි ගාලා කාර් වලට නැග්ගා. හෙලිකොප්ටර් නවත්වා තිබුණේ ගෝල්ෆේස් පිටියේ. කාර් එකට නගින්න පෙර අගමැති රජිව් ගාන්ධි ජනාධිපති ජේ ආර් ට " ගුඩ් බායි " කිව්වා.

කුමක්ද ඉන්පසු සිදු වුණේ?

ජනාධිපතිතුමා මන්දිරයට ගියා. ඒත් සිද්ධ වුණේ මොකක්ද කියන එක හරියට දන්නෙ නෑ. මේ අතරෙ ඉන්දියාවට මැසේජ් එකක් ගිහින් ලංකාවෙදි රජිව් ගාන්ධිව ඝාතනය කළා කියලා මහා කලබලයක් ඇති වෙන්න ගියා. මදුරාසියේ ලංකා මහ කොමසාරිස් කාර්යාලය මිනිස්සු වට කරන්න පටන් අරන්. ලංකාවේ ඉන්දියන් තානාපති කාර්යාලය වහාම ඉන්දියාවට දැනුම් දී තිබුණා එහෙම කිසි කරදරයක් නෑ, අගමැති තුමා දැන් ගුවන් යානයේ ආපසු ඉන්දියාවට එමින් සිටිනවා කියා.

ජනාධිපති ජේ ආර් ජයවර්ධන ඒ වෙලාවේ ක්ෂණිකව කිසියම් සාකච්ඡාවක් කලාද?

ඔව් ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්චාවක් පටන් ගත්තා. ඒ සාකච්ඡාව යද්දි රජිව් කටුනායකට පිටත් කරලා මුදල් ඇමැති රොනී ද මැල් එහි පැමිණියා. එතන වෙච්ච සිදුවීම ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපතිට පැහැදිලි කළා. නේවි සෝල්ජර් අත්අඩංගුවට ගත්ත බව කිව්වා. ජනාධිපති උපදෙස් දුන්නා මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා ඒ වෙලාවෙ ඉඳලම විමර්ශන පටන් ගන්න කියලා.

ජේ ආර් ජයවර්ධන ජනාධිපති තනතුරින් ඉවත් වුණාට පස්සේ ඔබට මොකද වුණේ.?

මා ගැන තීරණයක් ගන්නකම් මම ජනාධිපති ලේකම් කාර්යාලයේම හිටියා.

ජනාධිපති ප්‍රේමදාස මා ගැන හොඳට දන්නවා. නමුත් හේමා ප්‍රේමදාස කැමති වුණේ නෑ මම ජනාධිපති ප්‍රේමදාස ළඟ වැඩ කරනවට. මාව යවන්නම කියලා හේමා නිලධාරීන්ට කරදර කරන්න පටන් ගත්තා. පස්සේ මාව ජාතික ආරක්ෂක ඇමති රංජන් විජේරත්න ගාවට මාරු කළා .

රංජන් විජේරත්නට තරුණයින් විශාල ලෙස ඝාතනය කළ බවට බරපතල චෝදනා තියෙනවා. ජවිපෙ නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමත්, ඝාතනය කිරීමත්, ඔහුගේ නියෝග මත සිදු වූ බවට මතයක් තිබෙනවා. කුමක්ද ඔබ ඒ ගැන කියන්නේ. ?

මොනව කියන්නද ඒ කාලේ මාත් පරිස්සම් වෙලා හිටියේ මගේ ආරක්ෂාවටත් පිස්තෝලයක් දීලා තිබුණා.

රන්ජන් විජේරත්න හැම වෙලාවේම කෝපයෙන් දැවෙමින් ඉන්න කෙනෙක්ද?

නැහැ නැහැ . පයිප්පෙ බිබී බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. ඩීසන් පුද්ගලයා. හරිම ස්ට්‍රික්.

රන්ජන්ගේ ඔෆිස් එක තිබුණේ කොතනද?

වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ වැවිලි සංස්ථා නැගිල්ලේ. මගේ කාර්යාලයත් එතන තිබුණා. රන්ජන් ඇමතිතුමා පදිංචිව හිටියේ තිඹිරිගස්යායේ මාලේවන බිල්ඩිම පිටිපස්සේ.

එතන යටාරෝ කැපටේරියා කියලා හමුදා යුනිට් එකක් තිබුණාද?

තිබුණා. පොඩි හමුදා යුනිට් එකක්.

1989 නොවැම්බර් 12 වන දා ජවිපෙ නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගත් දිනය ඔබට මතකද ?

ඔව්. එදා මට මතකයි. එදා හවස 5.30 ට විතර තමයි රන්ජන් ඇමැතිතුමාගේ ගෙදර ඔෆිස් එකට හමුදා නිලධාරීන් ඇවිත් දැනුම් දුන්නේ විජේවීර ගම්පොළ උලපනේදී අත්අඩංගුවට ගත්ත බව.

විජේවීර අත්අඩංගුවට ගත්තා කිව්වාම ඇමති රංජන් විජේරත්න දැක්වූ ප්‍රතිචාරය කුමක්ද . ඔහු රෝහණ විජේවීරව හමුවන්න ගියා ද ?

නැහැ. ඇමතිතුමා ගියේ නැහැ. ප්‍රශ්න කරන්න පොලිසියේ හමුදාවේ ලොක්කෝ ආවා. විජේවීර ඉල්ලීමක් කර තිබුණා ජනාධිපති සමඟ සාකච්ඡා කරන්න අවශ්‍ය බව. ඒ වන විටත් රජය තීරණයක් ගෙන තිබුණා.

මොකක්ද ඒ තීරණය. ?

අත්අඩංගුවට ගන්නා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මරා දමන්න.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගෙන එවැනි නියෝගයක් දීම රටේ නීතියට එකඟයි කියා. ඔබ හිතනවාද ?

ඒ කාලේ ආණ්ඩුව ත්‍රස්තවාදීන් සමග කටයුතු කළ ආකාරයක් තිබුණා. ඒ අනුවයි ඕඩර් එක දුන්නෙ.

ඉන්පසු මොකද වුණේ.?

මා දැනුවත් හැටියට ඇමති වරයාගේ නියෝගය ඉටු කළ බව ඒ නිලධාරීන් රාත්‍රී කාලයේම ඇවිත් දැනුම් දී තිබුණා .

මොකද ඇමතිතුමාගේ oder එකයි ඒගොල්ලො carry out කළේ

ඔබේ සේවය අවසන් වුණේ කොහොමද ?

චන්ද්‍රිකා 1996 ජනාධිපති වශයෙන් පත් වෙලා ආවා . මම යූඑන්පී කාරියක් වශයෙන් ලේබල් වෙලා හිටියෙ. එයාලට මාව වෙන තැනකට මාරු කරන්නත් බෑ. ඒක නිසා චන්ද්‍රිකා මාධ්‍ය ලේකම් තනතුර සම්පූර්ණයෙන්ම අහෝසි කළා. ටික කාලෙකට පස්සේ මම ඇමරිකාවට ගිහින් පදිංචි වුණා.

උදේනි සමන් කුමාරගේ FB පිටුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...