ගෝඨාගේ රිට් පෙත්සමට මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :

අභියාචනාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම විමර්ශනයකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ගොනු කර තිබිණි.

අපරාධ යුක්ති පසිඳලීමේ ක්‍රියාදාමයට සහ විමර්ශන කටයුතුවලට අධිකරණයෙන් බලපෑමක් කිරීමට අපේක්ෂා නොකරන බව විනිසුරු මඩුල්ල මෙහිදී පෙන්වා දුන්නේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ, අභියාචනාධිකරණයේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එම නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබු‍වේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්ය.

ඒ අනුව නියෝගය ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා පැවසුවේ,,,

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙනවා. අපරාධ යුක්ත පසඳලීමේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙනයාම සඳහා විමර්ශන සිදුකිරීම අවශ්‍යයි. මෙම සිද්ධියට අදාළව පෙත්සම්කරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් සටහන් කරගැනීමක් සිදුවෙලා නැහැ. එම තත්ත්වය යටතේ විමර්ශන ක්‍රියාදාමයට මැදිහත්වෙන්න අධිකරණය අපේක්ෂා කරන්නේ නැහැ. එසේ වුවහොත් අපරාධ යුක්ති පසිඳලීමේ ක්‍රියාදාමය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වෙනවා" ලෙසයි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන බවට නියෝග කළ ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසරදීම සඳහා වන නොතීසි නිකුත් කිරීමද ප්‍රතික්ෂේප කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් විපක්ෂ නායක ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග...

බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් මාරු කිරීම ආරම්භ වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : බෝගම්බර බන්ධනාගාරය වෙත...

කටුනායකට නව ගුවන් යානා ඉන්ධන නල මාර්ගය ඉදිකිරීම අද(02) ඇරඹේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මුතුරාජවෙල සිට කටුනායක...

“කාවන්තිස්ස” නැවත නැගී සිටි ඇත් රජු නුඹමැයි..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ලංකාවේ උසම ඇතාගේ...