රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :
ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව සංවිධානයේ සහ මිත්‍රත්ව පාසලේ 20 වැනි සංවත්සර සැමරුම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්….
අධ්‍යාපනය, ජපන් භාෂාව හා සංස්කෘතික සබඳතා ඔස්සේ දෙරටේ ජනතා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…
කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව සංවිධානය (Japan Sri Lanka Friendship Society – JSFS) සහ ඊට අනුබද්ධ ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසල ආරම්භ කර විසි වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ 20 වැනි සංවත්සර සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, පැනරෝමා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී සබඳතා ජනතා මට්ටමින් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2006 වර්ෂයේ ඔක්තෝබර් මස පළමුවැනි දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසල, ජපන් භාෂා අධ්‍යාපනය මෙන්ම දෙරටේ භාෂා හා සංස්කෘතික අවබෝධය වර්ධනය කිරීම සඳහා විසි වසරක් පුරා අඛණ්ඩ දායකත්වයක් ලබාදී තිබේ.

ජපන් භාෂාව හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ භාෂා ප්‍රවීණතාව වර්ධනය කිරීම සඳහා පාසල මඟින් විධිමත් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, JLPT (N5, N4 සහ N3) සහ NAT වැනි ජපන් භාෂා ප්‍රවීණතා විභාග ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා දේශීය හා ජපන් ජාතික ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ පවත්වාගෙන යනු ලබයි.
මීට සමගාමීව ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ සිසු සිසුවියන් හා දෙමාපියන් දැනුවත් කිරීම, අදාළ අධ්‍යාපන ආයතන සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම සහ එම අවස්ථා වෙත යොමුවීමට අවශ්‍ය උපදේශන හා මඟපෙන්වීම් ලබාදීමද සංවිධානය හා පාසල මඟින් සිදුකරනු ලබයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2006 වර්ෂයේ සිට මේ දක්වා සිසු සිසුවියන් 475කට අධික පිරිසක් ජපානයේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසලේ අධ්‍යක්ෂ පූජ්‍ය මහරගම සෝමරතන නාහිමියන් මෙහිදී සඳහන් කළහ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා ජනතා සබඳතා සිහිපත් කරමින්, මෙරට සංවර්ධනය වෙනුවෙන් ජපාන රජය සහ ජපාන ජනතාව විසින් දීර්ඝ කාලයක් පුරා ලබාදී ඇති සහයෝගය හා පරිත්‍යාගයන් අගය කළේය.
විශේෂයෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ජපාන රජය ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, අධ්‍යාපනය හා ජනතා සබඳතා ඔස්සේ දෙරට අතර අවබෝධය වර්ධනය කිරීමට පූජ්‍ය මහරගම සෝමරතන නාහිමියන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉටුකරන මෙහෙවරද අගය කළේය.
නව පරපුරේ අධ්‍යාපනික හා වෘත්තීය අවස්ථා පුළුල් කිරීම මෙන්ම, ශ්‍රී ලංකාව හා ජපානය අතර ගොඩනැගී ඇති සබඳතා අනාගත පරපුර වෙත ශක්තිමත් පදනමක් මත ඉදිරියට ගෙන යාම සඳහා මෙවැනි අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසල තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් වෙත සම්මාන හා සහතිකපත් ප්‍රදානය කිරීමද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.
විසි වසරක අධ්‍යාපනික හා සංස්කෘතික මෙහෙවර සනිටුහන් කළ මෙම සංවත්සර සැමරුම, ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින මිත්‍රත්වය නව පරපුර සමඟ තවදුරටත් ගොඩනැගීමටත්, දෙරටේ ජනතාව අතර අවබෝධය හා සහයෝගිතාව අනාගතයට ශක්තිමත් පදනමක් මත ගෙන යාමටත් දායක වන වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය.


