සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ හමුදා සහ හූති සටන්කාමීන් අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ. යේමන හමුදාව පවසන්නේ පැය 24ක් තුළ සිදුකළ ප්‍රහාර 474කින් හූති සටන්කාමීන් 1,540 දෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි.
2022 වසරේ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් ඇති වූ සටන් විරාමයෙන් පසුව සාපේක්ෂව අඩු වී තිබූ ප්‍රචණ්ඩත්වය, පසුගිය මාස කිහිපය තුළ යළිත් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. හූති කණ්ඩායම රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල සිය පාලනය පුළුල් කර ඇති අතර, තායිස් ඇතුළු ප්‍රදේශවලද දරුණු සටන් වාර්තා වේ.
මේ අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 145,000කට වැඩි පිරිසක් සිය නිවෙස්වලින් අවතැන්ව ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය සඳහන් කරන අතර තායිස් ප්‍රදේශය අවතැන්වූ පුද්ගලයන්ගේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රදේශය බවද එම සංවිධානය පවසයි.
එමෙන්ම ආහාර සැපයුම් මාර්ග කඩාකප්පල් වීමත් සමඟ යේමනයේ මානුෂීය අර්බුදය තවදුරටත් බරපතළ වී ඇති අතර ලෝක ආහාර වැඩසටහනට අනුව, රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල පවුල්වලින් 74%ක් ප්‍රමාණවත් ආහාර නොමැති තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව කියැවේ.
ගැටුම් තවදුරටත් පැතිර යාම රතු මුහුදේ සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර මාර්ගයේ ආරක්ෂාවටද බලපෑම් කළ හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

