ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සංක්‍රමණය වේගවත් කිරීමට තීරණය කරයි; නමුත් ප්‍රධාන බාධාවන් රැසක්..

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට තීරණය කර ඇති නමුත් ඒ සඳහා ප්‍රධාන බාධා රැසකට මුහුණ දී සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

“පුනර්ජනනීය බලශක්තිය දෙසට තවදුරටත් ගමන් කිරීමට අපව පොළඹවන යම් සිහි කැඳවීම් අප හමුවේ තියෙනවා,පුනර්ජනනීය බලශක්තියෙන් අපට පුළුවන් උපරිම ප්‍රමාණය ලබා ගැනීම ඉදිරි වසර කිහිපයේ අපගේ ප්‍රතිපත්තිය වේවි.” අනුර කරුණාතිලක මහතා පැවසීය.

තමුන්ගේ සියලුම තෙල් සහ ගෑස් අවශ්‍යතාවයන් ආනයනය කරන මෙම අපගේ රට, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් පසුවත්, ඒ හරහා උපායමාර්ගිකව තීරණාත්මක හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් පසුවත් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තුවල ශීඝ්‍ර ඉහළ යාම, සලාක ක්‍රම පැනවීම සහ වසර තුනකින් වාර්තා වූ ඉහළම උද්ධමනය හේතුවෙන් 2022 වසරේ සිදුවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් තිබූ ආර්ථිකයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී ඇත.

මේ නිසා රජයට මෙන්ම මහජනතාවට ද අධික පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ෆොසිල ඉන්ධන ආනයනය සඳහා ගෙවීම් කිරීමට ඇතැම් මාසවලදී රජයට සිය විදේශ විනිමය සංචිතවලින් සියයට 30 ක් දක්වා වැය කිරීමට සිදුව ඇති බවයි.

යුද්ධය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රමණ ඉලක්ක සකස් කර තිබුණි.

වර්තමානයේ විදුලි නිෂ්පාදනයෙන් සියයට 60 ක් පමණ පුනර්ජනනීය මූලාශ්‍රවලින් ලබාගන්නා අතර (එයට සියයට 40 ක පමණ ජල විදුලිය ඇතුළත් වේ), 2030 වන විට එය සියයට 70 දක්වා ඉහළ නැංවීම රටේ ඉලක්කය වී තිබුණි.

“අපට බොහෝ විට සියයට 70 සීමාවටත් වඩා එහාට යන්න සිදුවේවි,” කරුණාතිලක මහතා පැවසීය.

නමුත් මෙම සංක්‍රමණය අපේක්ෂා කළාට වඩා සංකීර්ණ බව පෙන්නුම් කරයි.

ඇතැම් ප්‍රජාවන් සුළං විදුලි ටර්බයින් ඉදිකිරීමට විරුද්ධත්වය පළ කරති.

මෙරටට ගිගාවොට් 32 ක පමණ විශාල සුළං බලශක්ති විභවයක් පවතින බවට ඇස්තමේන්තු කර තිබුණද, වයඹදිග මන්නාරම අර්ධද්වීපයේ ජනතාව අතර විරෝධය වර්ධනය වෙමින් පවතී. 2020 සිට ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර නිසා ගංවතුර ඇතිවීම, මසුන් පලායාම සහ සංක්‍රමණික පක්ෂීන්ට තර්ජන එල්ලවීම සිදුවන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ජනතාවගේ මෙම කනස්සල්ලට තමන් සවන් දුන් බව අමාත්‍යවරයා පැවසීය.

"අපි මන්නාරමේ ජනතාවට පොරොන්දු වුණා... දැනටමත් අනුමත කර ඇති හෝ ඉදිවෙමින් පවතින ව්‍යාපෘති පමණක් ඉදිරියට ගෙන යන බවට," ඉදිරියේදී සුළං විදුලි බලාගාර වෙනත් ස්ථානවල ඉදි කරන බව ඔහු පැවසීය.

තවත් බාධාවක් වන්නේ තාක්ෂණික ගැටලුය.

“සම්ප්‍රේෂණ මාර්ගවල පවතින සීමාවන්, පද්ධතියේ පවතින හැකියාව, ජාලයේ (grid) පාලනය මෙන්ම සැපයුම සහ ඉල්ලුම අතර පවතින උච්චාවචනයන් ප්‍රධාන ගැටලුවයි,” කරුණාතිලක මහතා පැවසීය.

“ලබන වසරේ සිට අපගේ සම්ප්‍රේෂණ ධාරිතාව ඉහළ නැංවීමටත්, ප්‍රධාන සම්ප්‍රේෂණ ජාල රේඛා පහක් එකතු කිරීමටත් අපි සැලසුම් කර තියෙනවා.”

නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවනු ඇත.

Solar power ව්‍යාපෘති සාර්ථක වීම, විශේෂයෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල සූර්ය පැනල සවිකිරීම නිසා දහවල් කාලයේදී විදුලි උත්පාදනය ඉල්ලුමට වඩා වැඩිවීමෙන් විදුලි සැපයුමේ දැඩි උච්චාවචනයන් නිර්මාණය වී ඇත.

ජාතික විදුලි බල පද්ධතිය බිඳවැටීම නිසා මේ මස මුළු දිවයිනටම පැය හයක විදුලි බලය විසන්ධි වීමක් සිදු වූ අතර, එයට හේතුව පරිභෝජනයට වඩා සූර්ය බලශක්ති උත්පාදනය ඉහළ යාම විය හැක.

“පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඇතැම් සූර්ය බලශක්ති බලාගාරවල නිෂ්පාදනය සීමා කිරීමට අපට සිදුවෙනවා. ඒ නිසයි රජය සූර්ය බලශක්තිය දිරිමත් කරන්නේ නැහැ කියලා ඇතැම් අය හිතන්නේ,” කරුණාතිලක මහතා පැවසීය. “නමුත් එය සත්‍යයක් නෙවෙයි.”

2029 වන විට සූර්ය බලශක්ති උත්පාදන ධාරිතාව මෙගාවොට් 4,400 දක්වා ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වන අතර, එය 2024 වසරට වඩා සියයට 388 ක දැවැන්ත ඉහළ යාමකි.

කෙසේ වෙතත්, සූර්ය විදුලිය සඳහා මිල නියම කරන ආකාරය රජයට වෙනස් කිරීමට සිදුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පවතින ක්‍රමය යටතේ, පෞද්ගලික විදුලි නිෂ්පාදකයින්ට විදුලි උත්පාදනය ඉහළම මට්ටමක පවතින සහ ඉල්ලුම අඩු දහවල් කාලයේදී ජාතික පද්ධතියට විදුලිය ලබා දී, විදුලි පිරිවැය වැඩි රාත්‍රී කාලයේදී එම විදුලි ප්‍රමාණයම නොමිලේ නැවත ලබාගත හැක.

මෙම ක්‍රමය අර්බුදකාරී ආර්ථිකයකට මූල්‍යමය වශයෙන් දරාගත නොහැකි එකක් බව අමාත්‍යවරයා පැවසීය.

“මෙහි අතිරේක පිරිවැය දරන්නේ රජයයි,” ඔහු පැවසීය. “එම බර සාමාන්‍ය ජනතාව පිට පැටවීම අසාධාරණයි කියලා අපි හිතනවා. ඒ නිසා සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට සහ පාරිභෝගිකයින්ට යන දෙපිරිසටම සාධාරණ වන අලුත් මූල්‍ය ආකෘතියක් අපි යෝජනා කරනවා.”

බැටරි භාවිතයෙන් විදුලිය ගබඩා කිරීමේ පද්ධති පුළුල් කිරීමටද රජය සැලසුම් කරන බව කරුණාතිලක මහතා පැවසීය.

“ගල් අඟුරු සහ නැප්තා (naphtha) භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට තරම් පද්ධතිය, ආයෝජන සහ යටිතල පහසුකම් තවමත් සූදානම් නැහැ," ඔහු අනතුරු ඇඟවීය.

"නමුත්... වසර 10 ත් 15 ත් අතර කාලයකදී අපි නැප්තා සහ ගල් අඟුරු භාවිතය අඩු කර, සියයට 90-95 ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් සපුරා ගැනීමට සමත් වේවි." අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...