සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

තායිලන්ත උප අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්


සෞඛ්‍ය, අධ්‍යාපන සහ තාක්ෂණ ක්ෂේත්‍ර නවීකරණය කිරීම සඳහා දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පුළුල් එකඟතාවක්.


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම උසස් අධ්‍යාපන, විද්‍යා, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්‍ය මහාචාර්ය යොදචානන් වොන්ග්සවත් (Prof. Yodchanan Wongsawat) මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (28) සාර්ථකව පවත්වන ලදී. මෙම සුවිශේෂී මුණගැසීම සිදුවූයේ, තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී (UNCC) පැවැත්වෙන පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවට (MC-5) සමගාමීවය.


මෙම සුවිශේෂී හමුවේදී දෙරට අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය සහ දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව නායකයන් දෙපළ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම, මෙරට සෞඛ්‍ය සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා කෘත්‍රිම බුද්ධිය (AI) සහ නවීන විද්‍යාත්මක ක්‍රමවේද භාවිතය සම්බන්ධයෙන් තාක්ෂණය හුවමාරු කරගැනීම පිළිබඳව මෙහිදී පුළුල් අවධානයක් යොමු විය.


එසේම, දෙරටේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන හරහා ශිෂ්‍ය, ආචාර්ය මණ්ඩල මෙන්ම පර්යේෂණ ක්ෂේත්‍රයන්හි හුවමාරු වැඩසටහන් පුළුල් කිරීමටත්, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග පද්ධති සහ විද්‍යාත්මක ජල කළමනාකරණය සඳහා නවීන තාක්ෂණික සහාය ලබාගැනීමටත් අමාත්‍යවරුන් දෙපළ අතර අදහස් හුවමාරු කරගන්නා ලදී.


ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා සඳහා තායිලන්ත ආයෝජකයන් දිරිමත් කිරීම සහ දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන වැඩසටහන් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි. මීට අමතරව ශතවර්ෂ ගණනාවක් පුරා දෙරට අතර පවතින ථෙරවාද බෞද්ධ උරුමය පදනම් කරගත් ආගමික, සාමාජීය හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම ද එහිදී අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාවට එක්වූ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මහාචාර්ය යොදචානන් වොන්ග්සවත් මහතා, තායිලන්තයේ දේශපාලන මෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ද සුවිශේෂී සලකුණකි. ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව (Biomedical Engineering) පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයෙකු වන ඒ මහතා, තායිලන්තයේ තාක්ෂණික සහ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ඍජු දායකත්වයක් සපයන ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...