රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

ඉසුරු පරාක්‍රම

ඔක්තෝබර් 29, කොළඹ (LNW): ඇඳුම් තුළ සඟවාගෙන රත්‍රන් කිලෝග්‍රෑම් දෙකකට වඩා ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසරක කාලයක් සිරගතව සිටි ශ්‍රී ලාංකිකයකු, ඔහුට එරෙහි චෝදනා අපරාධ වරදකට වරදකරු කිරීම සඳහා වන නෛතික අවශ්‍යතා සපුරා නොමැති බවට තීන්දු කරමින් මාලදිවයින් මහාධිකරණය විසින් නිදහස් කර තිබේ.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් 28 වන දින භාණ්ඩ ජාවාරම් කිරීමේ චෝදනාවට එරට අපරාධ අධිකරණය විසින් ඔහුට මාස 12 ක සිරදඬුවමක් නියම කර හරියටම වසරකට පසුව, එනම් මේ වසරේ ඔක්තෝබර් 28 වන දිනදී ය.

ඉහළ අධිකරණය මඟින් මෙම වරදකරු කිරීමේ තීන්දුව බලරහිත කරන විටත්, ඔහු තමන්ට නියම වූ සම්පූර්ණ සිරදඬුවම් කාලය විඳ අවසන් කර තිබුණි.

මෙම සිද්ධිය 2023 සැප්තැම්බර් 21 වන දින සිදුවූවකි. එදින මොහොමඩ් සුලයිමාන් නමැති මෙම පුද්ගලයා ඩුබායි හරහා එන එමිරේට්ස් ගුවන් යානයකින් මාලදිවයිනට පැමිණ ඇත. ඔහු වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (Velana International Airport) “ග්‍රීන් චැනලය” (Green Channel) හරහා පිටවීමට උත්සාහ කිරීමේ දී, ඔහු ඩුබායි හිදී රත්‍රන් මිලදී ගත් බවට හැඟවෙන ලේඛන හමු වීමත් සමඟ රේගු නිලධාරීන් විසින් ඔහුව නවතා පරීක්ෂා කර තිබේ.

ඉන් අනතුරුව සිදුකළ සෝදිසි කිරීමේදී, ඔහුගේ ජීන්ස් කලිසමේ ඉදිරිපස සහ පසුපස ප්ලැකට්/සාක්කු තුළ මෙන්ම යට ඇඳුම් තුළ සඟවා තිබූ රත්රන් පේස්ට් (gold paste) ග්‍රෑම් 2,282 ක් සොයා ගන්නා ලදී.

ඊට පසුව, රේගු පනතේ 97(අ) වගන්තිය යටතේ සුලයිමාන් හට භාණ්ඩ ජාවාරම් කිරීමේ චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, අදාළ චෝදනාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූලික නෛතික කරුණු තහවුරු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව මාලදිවයින් මහාධිකරණය පසුව ඒකමතිකව නිගමනය කළේය.

තම නඩු විභාගයේදී අධිකරණය රේගු පනතේ 97(අ) වගන්තියේ විෂය පථය පරීක්ෂාවට ලක් කළේය. විනිසුරු මොහොමඩ් අබ්දුල්ලා සඳහන් කළ පරිදි, එම වගන්තිය අදාළ වන්නේ තහනම් කරන ලද, විශේෂ පර්මිට් බලපත්‍ර අවශ්‍ය වන, හෝ ගෙවීම් මගහැරීමේ චේතනාවෙන් හොර රහසේ රට තුළට ගෙන එන ලදුව රේගු බදුවලට යටත් වන භාණ්ඩ සඳහා පමණි.

මෙම අභියාචනයේදී තීරණාත්මක සාධකයක් වූයේ, අදාළ රත්‍රන් තහනම් කරන ලද භාණ්ඩයක් නොවන බවත්, ඒවා රේගු බදුවලට යටත් නොවන බවත් නඩු විභාගය අතරතුර පැමිණිල්ල විසින්ම පිළිගැනීමයි.

එසේ වුවද, ප්‍රකාශයට පත් නොකර (un-declared) රට තුළට ගෙන එන ලද රත්‍රන් අවසර නොලැබූ භාණ්ඩයක් (unauthorised commodity) ලෙස සැලකිය හැකි බව රජය වෙනුවෙන් පෙනී සිටි පාර්ශ්වය තර්ක කළේය. නමුත් මාලදිවයින් මහාධිකරණය එම තර්කය ප්‍රතික්ෂේප කළ අතර, ව්‍යවස්ථාදායකය මඟින් යම් ක්‍රියාවක් අපරාධ වරදක් ලෙස පැහැදිලිව ම දක්වා නොමැති අවස්ථාවක, බලධාරීන් එය නීති විරෝධී ලෙස සැලකූ පමණින් ම එම ක්‍රියාව අපරාධ වරදක් ලෙස සැළකිය නොහැකි බව අවධාරණය කළේය.

සිය තීන්දුවට එළඹීමේ දී විනිසුරුවරුන් මාලදිවයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 59(අ) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ මූලධර්ම කෙරෙහි අවධානය යොමුකළ අතර, අපරාධ වගකීම නීතිය මත පදනම්විය යුතු බවට වන අවශ්‍යතාව එමඟින් තහවුරු කෙරේ.

භාණ්ඩ ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ම පමණක් ඒවා ස්වයංක්‍රීයව තහනම් භාණ්ඩ ගණයට ඇතුළත් නොවන බව විනිසුරු මඬුල්ල වැඩිදුරටත් පැහැදිලි කළේය. එමෙන්ම, අපරාධ නඩු විධාන සංග්‍රහයේ (Criminal Procedure Code) 82 වන වගන්තියෙන් නියම කර ඇති පරිදි, චෝදනා පත්‍රය මඟින් චෝදනා ලැබූ වරදෙහි අත්‍යවශ්‍ය කොටස් ප්‍රමාණවත් ලෙස දක්වා නොමැති බවද අධිකරණය සොයා ගත්තේය.

මෙම කරුණු පදනම් කරගනිමින්, මූලික අධිකරණයේ වරදකරු කිරීමේ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(හ) සහ 59(අ) වගන්තිවලට පටහැණි බව නිගමනය කළ මහාධිකරණය, අපරාධ අධිකරණයේ තීන්දුව බලරහිත කළේය.

චෝදනාවේ නෛතික අර්ථ නිරූපණය පිළිබඳ විනිසුරු මොහොමඩ් අබ්දුල්ලාගේ නිරීක්ෂණයන්ට අමතරව, මොහොමඩ් ෂනීස්, හුසේන් මසීඩ් සහ හුසෙයිෆා මොහොමඩ් යන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් මෙම අභියාචනය විභාග කරන ලදී.

රේගු ප්‍රකාශන අවශ්‍යතා සපයා නොමැති අවස්ථාවක් සහ නීතිය හමුවේ නිශ්චිත අපරාධ වරදක් සිදුකිරීම යන කරුණු දෙක අතර පැහැදිලි වෙනස හඳුනාගැනීමේ වැදගත්කම මෙම නඩු තීන්දුව මඟින් ඉස්මතු කරයි. එමෙන්ම, පැමිණිල්ල විසින් චෝදනාවට අදාළ නීත්‍යානුකූලව අර්ථ දක්වා ඇති කරුණු තහවුරු නොකරන්නේ නම්, අධිකරණයකට වරදකරු කිරීමේ තීන්දුවක් පවත්වාගෙන යා නොහැකි බවට වන මූලධර්මය ද මෙයින් නැවත තහවුරු වේ.

කෙසේ වෙතත්, සුලයිමාන් හට මෙම නිදහස් වීම හිමිවූයේ පහළ අධිකරණය මඟින් නියම කරන ලද වසරක සිරදඬුවම සම්පූර්ණයෙන්ම විඳ අවසන් වූ පසුව ය. එබැවින්, මුල් අධිකරණය විසින් නියම කරන ලද දඬුවම සම්පූර්ණයෙන් ම විඳ අවසන් වූ පසුව ඉහළ අධිකරණයක් මඟින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීම හේතුවෙන් මෙම නඩුව මාලදිවයින් අධිකරණ පද්ධතියේ අසාමාන්‍ය ප්‍රතිඵලයක් පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...