සටහන – රුවන් නෙළුගොල්ල
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ (POCA) සඳහන් සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එමෙන්ම දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති එම පනතේ තවත් වගන්ති දෙකක් ද සංශෝධනය කිරීමට රජය සූදානම් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තමයි අපි දීර්ඝ කාලයක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා යොදා ගත්තේ. පුද්ගලිකව ගත්තොත් අපි දිර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට විරුද්ධ වුණ අය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් බැට කාපු අය. ඒනිසා එවැනි නීතියක් අවශ්‍ය නැති බව පිළිගන්නවා. ඒ නිසා තමයි ඒ පනත අපි අහෝසි කරන්නේ. අහෝසි කරලා වඩා දුර්වල කරලා නව පනතක් ගේනවා.
අපිට සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නීතියක් අවශ්‍යයයි. දැනට අපි ඒ නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට විරුද්ධ කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වරප්‍රසාද ආරක්ෂාව ලබන අය. ඒ කණ්ඩායම් අපි ගණන් ගන්නේ නෑ. තව කණ්ඩායමක් ඉන්නවා අපේ රටේ මානව හිමිකම් පිළිබඳ කතා කරන. අපි ඒ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න ලෑස්තියි. මේකෙන් කිසිසේත්ම ජනතාව මර්ධනය කරන්න, ජනතා අයිතිවාසිකම් උල්ලඝනය කරන්න අවශ්‍යතාවයක් නෑ. අපිට අවශ්‍ය සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමට නීතියක්. ඒ නීතිය හදන එක තමයි අපේ වැඩේ.
දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පනත තියෙනවා. ඒක සාකච්ඡාවට බඳුන්වෙමින් තියෙනවා. දැනට ඒ පනතට විරුද්ධ අධිකරණයට ගියපු අය මූලික වශයෙන් කරුණ තුනක් මතුරකලා තියෙනවා.
එකක් රඳවාගැනීමේ කාලය. මේ පතන ඇතුළේ රඳවාගැනීමේ කාලය පැය 72යි. ඒක වැඩියි කියලා යෝජනාවක් තියෙනවා. අපි අවශ්‍ය ඒ සංශෝධනය කරන්න ලෑස්තියි. පැය 72 කාලය පැය 48 දක්වා අඩුකරනවා. අපි සවන්දෙන්න ලෑස්ති.
ඊළඟට තව සංවාදයක් තියෙනවා පච්ච. ජාත්‍යන්තර වශයෙන් මේක සකස් වුණේ. පච්ච මගින් සංවිධානාත්මක කල්ලි හඳුනාගන්න ලෝකයේ ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් ඒක අපේ රටේ නැතිනම් අපට ඒ නීතිය ඕනේ නෑ. අපි ඒක අයින් කරගන්නත් ලෑස්තියි.
තව පනතේ ආන්දෝලනයට ලක්වෙලා තිබෙනවා සුරාබදු ආඥා පනත යටතේ කෙරෙන වරදවල්ද සංවිධානාත්මක අපරාධ පනත යටතේ කරන්න පුළුවන් කියලා. අපි සුරාබදු ආඥා පනත යටතේ වෙන වරදවල් සංවිධානාත්මක අපරාධ පනත යටතේ කරන්නෑ කියලා ඒකත් අයින් කරගන්නවා. ඕක තමයි දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තියෙන සංවාදය. තව තියෙනවා නම් අපි ලෑස්තියි. මේක කිසිසේත් මට හෝ අපේ ආණ්ඩුවට, පොලීසියට, මේ දෙපාර්තමේන්තුවට අනිසි බලයක් ලබාගැනීමේ වුවමනාවක් අපිට කිසිසේත්ම නෑ”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (05) අරලියගහ මන්දිරයේදී පැවති ‘රටම එකට ජාතික මෙහෙයුමේ’ සර්ව ආගමික සමුළුව අමතමිනි.


