ජනපති අනුරගේ දීපාවලී පණිවිඩය

සටහන – රුවන් නෙළුගොල්ල

ආර්ථික සහ සමාජයීය වශයෙන් යළි ශක්තිමත් වෙමින්, ලෝකය හමුවේ ගෞරවාන්විතව නැඟී සිටින “සාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයින” ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම සඳහා වත්මන් රජය යන මාවත මේ දීපාවලියේ දැල්වෙන පහන් සිලෙන් තව තවත් ඒකාලෝක වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට (08) යෙදී ඇති දීපාවලී උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කර ඇති සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ.


අඳුර දුරලමින් ආලෝකය උදා කරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපාවලි උත්සවය නිමිත්තෙන් මාගේ ශුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.

ක්‍රිෂ්ණා දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින්, අධර්මය පරදා ධර්මය ජය ගත් අයුරින් සියල්ලන්ගේ සිත්සතන්හි අඳුර දුරලා ආලෝකය පැතිරේවායි යන ප්‍රාර්ථනය පෙරදැරිව ලොව පුරා හින්දු බැතිමත්හු මෙදින ආගමික වතාවත්හි නිරත වෙති.

දීපාවලි සැමරුමේ සැබෑ අරුත වන්නේ හුදෙක් නිවෙස් පහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීමෙන් ඔබ්බට ගොස්, මිනිස් හදවත් තුළ ආදරය, කරුණාව, සහෝදරත්වය සහ මානවීය ගුණධර්මවල ආලෝකය දල්වාලීමයි. එහෙයින්, වෛරය වෙනුවට මෛත්‍රියත්, බෙදීම වෙනුවට සහජීවනයත්, අයුක්තිය වෙනුවට යුක්තියත් තෝරා ගනිමින්, වඩාත් යහපත්, සාධාරණ සහ සහකම්පනයෙන් පිරි සමාජයක් ගොඩනැඟීම සඳහා වන අපගේ අදිටන අලුත් කර ගැනීමට දීපාවලි උත්සවය අගනා අවස්ථාවක් සලසා දෙයි.

සමාජීය, ආර්ථික සහ දේශපාලන යන සියලු ක්ෂේත්‍ර තුළ යහපත් පරිවර්තනයක් ඇති කරමින්, සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරන, සියලු දෙනාට සමානාත්මතාවෙන් සහ ගෞරවයෙන් සලකන රටක් ගොඩනැඟීමේ මහඟු වගකීම වෙනුවෙන් අප මේ වන විට තිර අදිටනින් යුතුව කැපවී සිටිමු.

ආර්ථික සහ සමාජයීය වශයෙන් යළි ශක්තිමත් වෙමින්, ලෝකය හමුවේ ගෞරවාන්විතව නැඟී සිටින “සාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයින” ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම සඳහා අප එක්ව යන එම මාවත, මෙම දීපාවලියේ දැල්වෙන පහන් සිලෙන් තව තවත් ඒකාලෝක වේවායි ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලුම හින්දු බැතිමතුන්ට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබ දීපාවලි උත්සවයක් වේවායි හෘදයාංගම සුබපැතුම් එක් කරමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 නොවැම්බර් 08වෙනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරිද්‍රතා මට්ටමේ ඉහළ යාම : අපි කන හැටි ලිපා දනී ….

සාමාන්‍යයෙන් පවුලක ආදායම්, වියදම් හා පරිභෝජනය ගැන හරියටම දන්නේ...

දිනාගත් බලය රැකගන්න ඕනෑ, වැඩිකර ගන්නත් ඕනෑ. ආයෙ දෙන්නෑ. මේ අවුරුදු 3න් පස්සෙත් අපිම තමයි – ඇමති ලාල්

ජාතික ජන බලවේගය විසින් දිනාගත් බලය නැවත ලබාදීමක් සිදුනොවන...

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...