රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW:
එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරීන් කණ්ඩායමක්, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, සයිබර් වංචා සහ ජාත්‍යන්තර අපරාධ ජාලයන්ට එරෙහිව සටන් කිරීමේදී සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජිතයන් සමඟ FBI නිලධාරීන් සාකච්ඡා පවත්වා ඇත.
ඩිජිටල් සාක්ෂි සම්බන්ධ පුහුණුව සහ පොලිස් වැටලීම්වලදී සොයා ගන්නා සාක්ෂි භාවිතය ඇතුළුව, ජාත්‍යන්තර වංචා ජාලයන්ට එරෙහිව කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරිණි.
සයිබර් අපරාධ මැඩලීම සඳහා දේශීය විමර්ශකයන් සමඟ කටයුතු කිරීමට, FBI නිලධාරීන් කණ්ඩායම නොවැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙම නිලධාරීන් අද දිනයේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.


