එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය කොන්සර්වේටිව් විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලය අමතයි

0
441

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය 2022 ජනවාරි මස 12 වන දින ලන්ඩන් හි කාල්ටන් සමාජ ශාලාවේදී ‘ශ්‍රී ලංකාව, පොදුරාජ්‍ය මණ්ඩලය සහ ගෝලීය බ්‍රිතාන්‍යය’ තේමාව යටතේ කොන්සර්වේටිව් විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලය ඇමතුවාය.

ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පැවත එන ඓතිහාසික බැඳීම්වලින් සබැඳි ශ්‍රී ලංකා – එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල පුළුල් පරාසය සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වයේ සන්දර්භය තුළ එම සබඳතාවෙහි පවත්නා ව්‍යාප්තිය පිළිබඳව එතුමිය සිය දේශනයේදී අවධාරණය කළාය. පොදුරාජ්‍ය මණ්ඩලය යනු එක්සත් රාජධානි ආණ්ඩුවේ ගෝලීය බ්‍රිතාන්‍ය රාමුව දියත් කිරීමෙහි නෛසර්ගික පුරෝගාමියෙකු බවත්  එහිදී ශ්‍රී ලංකාවට ආසියාවේ සිට ගෝලීය බ්‍රිතාන්‍යය දක්වා වන කලාපයේ සැලකිය යුතු හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ හැකි බවත් එතුමිය විස්තර කළාය.

සම්භාවනීය අමුත්තන් ඇමතූ කොන්සර්වේටිව් විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති හොල්බීච් හි ටේලර් සාමිවරයා ගෝලීය බ්‍රිතාන්‍ය රාමුව සඳහා දායක වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිගත්තේය. එක්සත් රාජධානියේ දිගුකාලීන මිත්‍රයෙකු ලෙසත් පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසත් ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය ප්‍රශංසා කළ කොන්සර්වේටිව් විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයේ අනුශාසක මේෆෙයාර් හි රේන්ජර් සාමිවරයා විසින් අවසාන වශයෙන් කෙටි අදහස් දැක්වීමක් සිදු කරන ලදි.

හොල්බීච් හි ටේලර් සාමිවරයා සහ මේෆෙයාර් හි රේන්ජර් සාමිවරයා විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව මහ කොමසාරිස්වරිය මෙම අවස්ථාවට සහභාගී වූවාය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 ජනවාරි 20 වැනි දින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here