කාලෙකට පස්සෙ ජාත්‍යන්තර පාපන්දු තරගයක් පැවත්වෙනවා. සේදවත්තෙ තියෙනවා කියලයි නම තියෙන්නෙ.
“ඇමති මාර ගේමක් ගහල වගෙ.”
මං මටම කියාගෙන මැච් එක බලන්න පිටත් වුණා. බලනකොට ඒක ජාත්‍යන්තර තරගයක් කිව්වට උච්චි උච්චි තෝල් තෝල් තියලා පිල් බෙදිලා ගහන එකක්. එහෙම කරලා බෙදෙන ටීම් දෙකට නායකයො දෙන්නෙක් හදාගෙන කොළ කැලි උඩ දානවා. ඒකෙන් ශ්‍රී ලංකාව හම්බ වෙච්චි ටීම් එක තමයි ශ්‍රී ලංකාව. අනිත් ටීම් එකට හම්බ වෙලා තිබුණෙ බ්‍රසීලය.
එහෙම තමයි සේදවත්තෙ තිබ්බ මැච් එක.අපිට ඉතිං හීනෙන්වත් හිතන්න බැරි ජාත්‍යන්තර ජයග්‍රහණයකුත් එක්ක බ්‍රසීලය පැරදුණා. අන්තිම හරිය යන කොට කළුවර වැටුණම වටේ පිටේ තියෙන ගෙවල්වල චාජ් කරන ටෝච් ගෙනත් අල්ලගෙන හිටියා.
මටනම් ‘එසෙම්බල් සකුරා’ එක්ක මාර කේන්තියි. ඒත් මිනිස්සු මාර වෙනස්. රටේ පුට්බෝල්වලට නැති වෙන්නම වැඩේ දීලා මට ඕනි විදිහට තමයි රටේ ක්‍රීඩාව තියෙන්න ඕනි කියන ගොන් වාහෙ කෙනෙක් වගෙ අපිට පෙණුනට මේ මිනිස්සු කියන්නෙ වෙන කතාවක්.
“උන්නැහෙ නැත්නම් අපිට මේ විදිහටවත් ලංකාව බ්‍රසීලය එක්ක ගහනවා බලන්න පුළුවන් වෙයිද?”
සකුරා එසෙම්බල් වාහන විතරක් නෙමෙයි ඔළුත් එසෙම්බල් කරලා වගෙ.මං කළුවරේම ආපිට පිටත් වුණේ ගෙදර එන්න. මෙන්න ඒ එනකොට අතර මැද සුදු ඇදුමත් ඇද ගත්තු මනුස්සෙක් ඉන්නවා කරේ රතුපාට ලේන්සුවකුත්. කිට්ටු වෙලා බැලුවම ඩෝන් පුස්සාද් “මැතිරිල්ලකට යන ගමන්”
එතකොට තමයි මතක් වුණේ මනුස්සය හරියටම බෞද්ධාගම පිළිපදින,යස්සයො පෙරේතයො එක්ක වැඩ කරන කට්ටඩියෙක් කියලා.
“නටාෂාගෙ වැඩේ ඉවර වෙන්නත් ඉස්සර තව වැඩක් නේද?”
මම ඉතිං මනුස්සයගෙ බෞද්ධකම ගැන දන්න නිසා ඇහැව්වෙ.
“ඒ මොකද්ද?”
අහන ගමන්ම කෝල් එකක් ගන්නවා.මං ඉතින් ඇහැව්වා “කාටද කෝල් එක” කියලා.
“මට ඉතිං ඕවා හොයන්න වෙලාවක් නැහැ.කවුරු හරි බොස් කෙනෙක් හොයලා කරලා ආධාර එව්වම තමයි ගැන්සිය අරගෙන බහින්නෙ”
මනුස්සය කිව්වා.
“අර අවුරුදු 15 ක දරුවෙක්ට සිල් ගන්න ගිහිං දරුවෙක් ලැබෙන්න ඉන්නවලු. හාමුදුරුවො හොයා ගන්නත් නැහැල්ලු?”
මං මනුස්සයට කාරණය පැහැදිළි කළා.
“හාමුදුරුවො එර්දි වෙලා ඇති.ඔය වගෙ කතා හදන්නෙ බුද්ධාගම එක්ක ප්‍රශ්න තියෙන අය.”
මනුස්සයගෙ ඒ කතාවටනම් මට යකා නැග්ගා. ඒත් ඉතිං මේ යකාගෙ රස්සාව යක්කු එලවන එකනෙ.වෙසමුණියටත් උඩින් ඉන්න යකෙක් වගෙ මේකා එක්ක තර්කයට යනවට වඩා හොඳයි ෂේප් එකේ ඉන්න එක.
“සිද්ධාර්ත කුමාරයා බැන්දෙ 16 න්. ඒ කියන්නෙ බැදලා දරුවො හදන්න 16 හොද වයසක්.ඔය 15 කිව්වට 15 යි මාස ගාණයි කියන්නෙ 16 ට ලබලනෙ. හොද පිංවන්ත දරුවෙක් වෙන්න පුළුවන්. මේ රට පත්වෙලා තියෙන තත්ත්වය එක්ක ඇයගෙ කුසට පිංවන්ත කුමාරයෙක් ඇවිත් ඇති රටයි ආගමයි ජාතියයි බේර ගන්න”
ඩෝන් පුස්සාද් කියවනවා.
“ඒ කියන්නෙ හාමුදුරුවො සම්බන්ධයි.”
මොන විදිහකින් හරි සිවුර අපුල්ලන්න යන්නෙ නැතුව මේ මනුස්සය මෙහෙම පිළිගත්ත එකත් ලොකු දෙයක් කියලා හිතලා මං කිව්වා.
“පිස්සුද ඕයි.එහෙම පිංවන්තයො හම්බවෙන්න කාත් එක්කවත් නිදියන්න ඕනි ද? අහලා නැද්ද සොඬෙන් නෙළුම් මල් අරගෙන ඇත් පැටවා රිංගුවෙ කුසට. ඒක පැත්තකින් තියනවා. මරියා තුමියත් කන්‍යාවක්.”
ඇත්තටම මට හිතුණෙ බුදු හාමුදුරුවන්ගෙ කාලෙවත් මෙහෙම ආගම ආරක්ෂා කරන්න බුද්ධිමත් ආරක්ෂකයො ඉන්න නැතුව ඇති කියලා. අර පංසල්වල ඉස්සරහම ගහලා තියෙන වාමන රූප ටික කඩලා දාලා මේ වගෙ මිනිස්සුන්ගෙ පිංතූර ඒවට හයි කරන්න ඕනි කියලයි මට හිතුණෙ.
“ඕවා නෙමෙයි ප්‍රශ්න ඕයි. යාපනේ කොටි නැගිටිනවා. දැක්කනෙ අපේ බුද්ධිඅංශවලට දාලා තියෙන පාර්ට් එක”
මනුස්සය අලුත් මීටරයකට කතාව මාරු කරා.
“මෙතන වුණත් 25 ක් විතර ඉද්දි ඇවිත් පොලිසියෙන් නීත්‍යානුකූල නොවන රැස්වීමක් කියලා බලපෑම් කරොත් මොකද වෙන්නෙ”
මං ඉතිං සරලම විදිහට ඒ ප්‍රශ්නෙ මට දැනෙන විදිහට තේරුම් කරන්න හැදුවා.
“මෙහෙ එහෙම පුළුවන් ද ඩෝ,මේවා සිංහල බෞද්ධ ඒරියා.පොලිසිය එහෙම කරන්න එන්නෙත් නැහැ.මොකද පොලිසිය සිංහල බෞද්ධ පොලිසිය. ධර්ම චක්‍රය ගහගෙන ඉන්නෙ අතෙයි ඔළුවෙයි දෙකේම”
මගෙ පැහැදිළි කිරීම ඉදිරියට අරගෙන යන්න නොදී ඩෝන් කෑ ගහන්න ගත්තා.ඉනේ තිබුණ පිහියකුත් අතට ගත්තා.
“බුද්ධාගමට කෙලින්න ආවොත් කපනවා පෙති.තෝ අහලා තියෙනවනෙ සිහලු සත්වයෝ නිදුක් වෙත්වා කියලයි දේශනා කරලා තියෙන්නෙ. ඕක එකා එකා පටලගෙන සියලු කියලා ගේන්න හැදුවට තමුසෙ හිතනවද බුදු හාමුදුරුවන්ට පිස්සු කියලා එහෙම දේශනා කරන්න. සියලුම සිංහල සත්වයෝ කියන අදහසෙන් ඒක කියලා තියෙන්නෙ.”
මනුස්සය අර පිහිය දික් කරගෙන පියවරෙන් පියවර ඉස්සරහට එනවා. මං පස්සෙන් පස්සට යනවා.මරණ බය අස්සෙ මට අහන්න ප්‍රශ්නයක් ආවා. ඒ “බුදු හාමුදුරුවො සිංහලද” කියලා.අහන්න වුණේ නැහැ මම දඩාං ගාලා ඇඳගෙන වැටුණා.
“අනේ කපන්න එපා කපන්න එපා” කියලා මං කෑ ගැහැව්වා.කැ ගැහිල්ල නැවතුණේ මුළු ඇඟම තෙමෙන්න වතුර පාරක් වැදුණම.
මං හිටියෙ ඇඳෙන් බිම.
“මේව හීන ද අප්පා”
මං මටම කියා ගත්තා. කාටවත් කියන්න ගියොත් ICCPR යටතෙ නඩුවක් වැටෙයි.කෝකටත් මං දුවට කිව්වා ICCPR කියන එකේ තේරුමයි IRC කියන එකේ තේරුමයි අතර මොකක් හරි විශාල සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න. මොකද ඔය ලේබල් දෙකෙන්ම නඩු වැටෙනවනෙ හිටු කියලා. දැන් IRC කියලා නඩු දානවා අඩු ද මන්දා…
ටීවීවලට ඔළුව ඔබාගෙන නිව්ස් බැලුවම ඔහොම තමයි. නිදා ගන්නවත් නැහැ.බයවෙන හීන පේනවා.
ගෑණි කියාගෙන ගියා.මං වටපිට බලනකොට දැක්කෙ ඊයේ ටීවී එක බලද්දි ගත්ත පිංතූරයක් පෝන් එක ඔන් වෙලා පේන්න තියෙනවා.
ඒ අස්සෙ මට කල්පනා වුණා අර හීනෙන් දැකපු පෝරිසාදයා ඇදගෙන හිටපු ඇදුමෙ තිබුණ බැජ් එකක්.ඒකෙ තිබුණෙ ආර්එස්එස් කියලා එකක්. මං බරපතල විදිහට ඒ ගැන කල්පනා කරන්න වුණා. ධර්මයේ එන වචන මොනවද එහෙම එකට ගැට ගැහෙන කියලා.කිහිප දෙනෙක්ට කතා කරලා ඇහැව්වා. මිනිස්සුත් දන්නෙ නැහැ.ටික වෙලාවක් එහෙම කෝල් කර කර ඉද්දි කාමරේට ඔළුව දාපු කොල්ල “රෙලිජන් සිකුරටි ස්ර්විස්” කිව්වා.
එතකොටම තමයි දුව ඇවිත් ඇහැව්වෙ බුදු හාමුදුරුවො බුදු වෙලා ඉද්දි මේ සිකුරටි ටීම් එකත් හිටියනම් මාගන්දියාට මොනව වෙයිද කියලා….
ද ක්ලීනර්