අශෝක ජයතුංග
වොෂින්ටන් නුවර (LNW):
ශ්‍රී ලංකාව හා මෙක්සිකෝව අතර සමාජ ආර්ථික දේශපාලන මානව හිමිකම් සංචාරක ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය වන ගිවිසුමක් පසුගියදා මෙක්සිකෝ හිදී අත්සන් කෙරිණ.එය වසර 10 ක උත්සාහයක් මල්ළුල දැරීමක් වන අතර ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතා හා මෙක්සිකෝ නි: විදේශ ඇමතිනි කාමෙන් මොරෙනෝ ටොස්කානෝ මහත්මිය අතර එය අත්සන් කෙරිණ. ඒ හරහා දෙරට අතර ශක්තිමත් යාන්ත්රණයකට පදනම වැටිණ.
තානාපති මහින්ද හා නි: විදේශ ඇමතිනිය අතර වූ සාකච්ඡාවේදී ලංකාව මුහුණ පෑ ආර්ථික ගැටලු හා ඉන් මිදීමට ගත් ක්‍රියාමාර්ග ගැන තානාපතිවරයා පැහැදිලි කළේය. IMF හා ණය පුතිව්‍යුහගත කිරීම, මානව හිමිකම්, සංහිදියාව ගැනද අවධානය යොමු කෙරිණ. දෙරට අතර නිළ සාකච්ඡා කොළඹදී පැවැත්වීමේ එකඟතාව ද ඇතිවිය.
එරට විදේශ අමාත්‍යාංශ මානව හිමිකම් අධ්යක්ෂ ජෙනරාල් රොබෙටෝ ඩි ලියොන් මහතා සමග කල සාකච්ඡාවේදී ශ්‍රී ලංකවේ මානව හිමිකම් හා සංහිදියාව වෙනුවෙන් ගත් පියවර පැහැදිලි කෙරිණ.
සෙනෙට් සභික හෙක්ටර් වැස්කොන්සිලොස් මහතා ගේ හමුවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ලිපියක් ඔහුට බාරදීම ද සිදුවිය. අගමැතිගේ හා සෙනෙට් සභිකයාගේ පියවරු අතර තිබූ සබදතාව ඉන් පෙන්වාදී තිබිණ. ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා අනාගත ඉලක්ක ගැන ද තානාපති මහින්ද සමරසිංහ මහතා පැහැදිලි කළේය.
මෙක්සිකෝවේ ආයෝජන හා තාක්ෂණ ආයතනයේ (කොම්සේ) උප සභාපති ජෝර්ජ් ලොපෙස් මහතා හා තානාපතිවරයා අතර හමුවේදී දෙරට අතර ව්‍යාපාර හා ආයෝජන අපනයන අවස්ථා ගැන අවධානය යොමුවූ අතර ඒවා වැඩි දියුණු කිරීමට දෙපාර්ශවයේම එකඟතාව පලවිය. දෙරට වානිජ මණ්ඩල හරහා ඒකාබද්ධ ව්‍යාපාර ඇතිකිරීම හා මෙක්සිකෝව තුළින් ප්‍රති අපනයනය සිදු කිරීම ගැනද අවධානය යොමු කෙරිණ.
ලංකාවේ කුරුඳු තේ පිඟන්බඩු ඇඟලුම් වලට වැඩි ඉඩක් ලබා ගැනීමට තානාපතිවරයා දැරූ උත්සාහයට ඉහළ පුතිචාර පලවිය.තානාපති කාර්යාලයේ අමාත්‍ය ( වානිජ) චරිත යත්තෙගොඩ මහතා එහිදී කරුණු පැහැදිලි කරමින් ලංකාවෙන් අපනයනය කළ හැකි දේවල් හා පෝට් සිටි ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන පැහැදිලි කළේය. විමසූ ප්‍රශ්න වලට ද ශ්‍රී ලංකා තානාපති පුමුඛ දූත පිරිස පිලිතුරු දුන් අතර තෙවන ලේකම් තාරක දිසානායක මහතා ද මෙම අවස්ථාව නියෝජනය කළේය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??