සටහන -නදීක දයා බණ්ඩාර
මහනුවර (LNW): මධ්‍යම පළාතේ අධ්‍යාපනය කෙටි කාලයක් තුළදී ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සංවර්ධන කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.
සෙසු පළාත්වලට සාපේක්ෂව මධ්‍යම පළාතේ අධ්‍යාපනය ඉකුත් වර්ෂ කිහිපයේදී පසුබෑමට පත්වී ඇති බැවින් අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග කඩිනමින් යොදන බව ඒ මහතා තව දුරටත් පැවසුවේය.
ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සීමිත පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii වන ශ්‍රේණියට බඳවා ගත් විදුහල්පතිවරුන් සඳහා පත්වීම් ලබාදීම නිමිත්තෙන් ඊයේ (06) මහනුවර ධර්මරාජ විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයට සහභාගීවෙමිනි. මහනුවර, නුවරඑළීය සහ මාතලේ දිස්ත්‍රික්කවල පාසල් 1430ක් සඳහා පුරප්පාඩු පිරවීම සැලසුම් කර ඇති අතර ඒ යටතේ මෙම අදියරේදී විදුහල්පති පත්වීම් 835ක් ලබාදීම සිදුවිය.
එහිදී අදහස් පළ කළ ඒ මහතා, 2014 වන විට මධ්‍යම පළාතේ ලබාදී තිබුණු සහායක ගුරු පත්වීම් 1900ක ප්‍රමාණය ස්ථිර ගුරු පත්වීම් බවට පත් කිරීමට කටයුතු කළ බවත් තවත් ගුරු පත්වීම් 950ක් ලබාදීමට හැකිවූ බවත් කීවේය. තවත් ස්ථිර ගුරු පත්වීම් 146ක් ඉදිරියේදි ලබා දෙන බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
විෂය මූලිකත්වය පදනම් කර ගත් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා වැඩි අවදානයක් යොමු කළ බව කී ආණ්ඩුකාරවරයා, දුෂ්කර අධ්‍යාපන කලාපවලට ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව වැනි විෂයන් සඳහා පුරප්පාඩු වැඩි ප්‍රමාණයක් පැවැති බව කීවේය. ගුරු හා විදුහල්පති පුරප්පාඩු රැසක් සම්පූර්ණ කිරීමට හැකි වූ බව කී හෙතෙම සෙසු පුරප්පාඩු සම්පූර්ණ කිරීම මගින් මධ්‍යම පළාතේ ප්‍රමාණාත්මක අයුරින් අධ්‍යාපනය සංවර්ධනය කරා යොමු කිරීමට හැකිවනු ඇතැයි කීවේය.
විෂය නිර්දේශ පමණක් ආවරණය කරමින් රොබෝ වැනි දූ දැරුවන් පිරිසක් නිර්මාණය කිරීම මධ්‍යම පළාතේ අධ්‍යාපනයේ අපේක්ෂාව නොවන බව එහිදී පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා, දැනුම, ආකල්ප හා කුසලතා ඔප් නංවමින් ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් බිහිකරන බව ද ප්‍රකාශ කළේය.
වෘත්තීය ක්‍රියාවන්ට යොමුවීමට ගුරු විදුහල්පතිවරුන්ට අයිතාවාසිකම් පවතින නමුත් සිය යුතුකම් ඉටු කිරිම පිළිබදව ද වැඩි අවදානයක් යොමු කළ යුතු බව එහිදී පෙන්වු දුන් හෙතෙම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා සංශෝධනයේදී රුපියල් කෝටි 4000ක අමතර මුදලක් රජයට වැය කිරීමට සිදුවන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.