සටහන – රෂිකා හෙන්නායක.
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පලා ගොස් සිටි යෝග නිකායක නායකයෙකු වන Gregorian Bivolaru සහ ඔහුගේ අනුගාමිකයින් 40 දෙනෙකු ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා වන පරිදි 175ක පමණ නිලධාරීන් පිරිසක් විසින් වැටලීම සිදු කර ඇති අතර, මෙම කණ්ඩායම් සතුව විවිධ ආයුධ තිබෙන බවට ලද තොරතුරු මත වැටලීම් සිදු කර ඇති බවද සඳහන් වේ.
AFP ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, කාන්තාවන් 26 දෙනෙකු ඔවුන් විසින් රඳවාගෙන සිටින බව ද පොලිසිය සොයාගෙන ඇති අතර, අපයෝජනය, ස්ත්‍රී දූෂණ, මිනිස් ජාවාරම් සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් ප්‍රංශ නඩු පවරන්නන් ජූලි මාසයේදී මෙම කණ්ඩායම විමර්ශනය කිරීමට පටන් ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම 71 හැවිරිදි රුමේනියානු නායකයා අනෙකුත් නිකායික නායකයින් සමග පැරිස් උපනගරයේ Ivry-sur-Seine හි පිහිටි නිවසකදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
Bivolaru 2013 දී බාල වයස්කරුවෙකුව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් රුමේනියාවේදී වරදකරු වූ අතර වසර තුනකට පසුව ඔහු ප්‍රංශයෙන් පිටුවහල් කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු කොන්දේසි සහිතව නිදහස් කරන විට 2017 වසරේ දී රුමේනියාවෙන් පලා ගොස් ඇති අතර මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට ඔහු ෆින්ලන්තයටද අවශ්‍යව සිටි අයෙක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
