සටහන – රෂිකා හෙන්නායක.
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයට දිගටම පහරදී, හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ජාත්‍යන්තර සහාය තමන්ට තිබුණත් නැතත් තම ඉලක්කයට යන බවද පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, කිසිදු වග විභායකින් තොරව, ගාසා තීරයට එල්ල කරන බෝම්බ හේතුවෙන්, ඊශ්‍රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවී යනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයට පිළිතුරු දක්වමිනි.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවධාරණය කර ඇත්තේ, ගාසා තීරයේ යළි සටන් විරාමයකට යන්නේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක් බවයි.
ඊශ්‍රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවී යනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව අවධාරණය කිරීමේ ‘නොබැඳි’ යෝජනාව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කර ගැනීමත් සමඟය.
‘නොබැඳි’ යෝජනාව සම්මත වූයේ රටවල් 153 ක් ඊට ඡන්දය ලබා දෙමිනි. යෝජනාවට රටවල් 23 ක් විරුද්ධ වූ අතර, ඇමෙරිකාව ද ඒ අතර සිටී. ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පෙන්වා දෙමිනි.
එසේ වුවත්, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව, ඇමෙරිකාව දිගින් දිගටම අවධාරණය කර තිබේ. මේ වනවිට යුරෝපා රටවල් බොහොමයක් ද ඊශ්‍රායලයෙන් දුරස් වී සිටින බව දකින්න ලැබේ. මේ අතර තම පාලනයෙන් තොර ගාසා තීරයක් ගැන සිතීමෙන් පලක් නැතැයි හමාස් ප්‍රධානී ඉස්මායිල් හානියේ පවසයි.
ගාසා තීරයේ පැවැතිය යුත්තේ තමන්ට හිතවාදී පාලනයක් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හමාස් ප්‍රධානියා මෙසේ පවසා ඇත.
‘ගාසා තීරයේ හමාස් සංවිධානය විනාශ කරමින්, ඔවුන්ට හිතවත් කණ්ඩායමක් බලයට ගේන්න ඊශ්‍රායල උත්සාහ ගන්නේ නම්, ඒක විහිළුවක්. සැබෑ නොවන සිහිනයක්.’ යැයි හමාස් නායකයා වැඩි දුරටත් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
