දුමින්දගේ මරණීය දණ්ඩණයට දුන් ජනපති සමාව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි අතර, එම මරණීය දණ්ඩණයට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) දින, තීන්දු කළේය.

ඒ අනුව මෙම පෙත්සම්කාර දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම්, විභාග කිරීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිසි නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවය.

මෙම ක්‍රියාවලියේදී හිටපු ජනාධිපතිවරයා මහජන විශ්වාසය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් තීන්දුවේ සඳහන් වූ අතර, පෙත්සම්කරුට සමාව පිරිනැමීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරුණු අධිකරණයට පිළිගත නොහැකි තත්ත්වයක පවතින බවත් එහි සඳහන් වුණි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩණය නියම කර තිබුණි.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කළ අතර එම අභියාචනා විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දණ්ඩනය ස්ථිර කිරීමට තීන්දු කර තිබුණි.

ඉන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල ප්‍රකාරව සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට තීන්දු කර තිබුණි.

එම සමාව ප්‍රදානය කිරීමේදී නිසි නීතිමය පටිපාටිය හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නොමැති බවත් , ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සුමනා ප්‍රේමචන්ද්‍ර ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නීතිඥ ගසාලි හුසේන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණු බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...