ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියට සක්‍රියව එක්වන ලෙස පර්ත් ශ්‍රී ලාංකිකයින්ට ජනපතිගෙන් ඇරයුම්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් ඊයේ (09) පෙරවරුවේ පැවැත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක්වන ලෙස ද ඔවුන්ට ඇරයුම් කළේය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ශ්‍රී ලාංකිකයෝ දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනයට අදාළව රජයට සහාය ලබාදීමට ද කැමැත්ත පළ කළහ.

ඔවුන් මතු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තම රජය කැපවී සිටින බවයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව දැනුවත් කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කළ අතර රජය සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට එමගින් අවස්ථාව සැලසෙන බව ද පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සාගල රත්නායක මහතා මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ අඛණ්ඩ සහාය ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ දී විදේශගතව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහාය ලබාගැනීමට රජය ආරම්භ කර ඇති වැඩසටහන් පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න යන මහත්ම මහත්මීහු සහ බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...