Friday, October 7, 2022

Latest Posts

සුජියට පනහයි

කතාකරන භාෂාවෙන් සුජිත් රත්නායකගේ සහෘදයන් අතර පැතිරුණේ සුජිය පනහ ගැහැව්වා කියන පණිවිඩය.ඒ සුජිත් රත්නායකගේ ෆිෆ්ටි නම් වූ ඔහුගේ චිත්‍ර කලා ජීවිතයෙ මේ දක්වා කරන ලද ඇදීම්වලින් සුවිශේෂි පනහක් එකතු කරලා කරපු ප්‍රදර්ශනය ගැන ආරංචිය පැතිර ගිය හැටි.ඒකට හේතු වුණේ සුජිත් රත්නායකට වයස අවුරුදු 50 ක් වීම.

මේ පනහ සුජියගේ ආයු කාලයට අදාළ සාමාන්‍ය මැනීම.වයස අවුරුදු 50 ක් වීම.ඒත් 90 දශකයේ මුල භාගයේම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට පිවිසි වහාම ඔහු හඳුනාගත්තු විශ්ව විද්‍යාලයෙන් පිට සමාජය සහ විශ්ව විද්‍යාලය අතර පොඩි පාලමකට හේත්තු වෙලා සුජීව වැඩ කරන්න ගත්තා.ඒ නිසා විශය නිර්දේශය කියන එක සුජිත්ට නිකං ඔට්ටපාලු කෑල්ලක් වගේ දැනෙන්න ඇත්තෙ.ඔහු ඒක ඇදලා පිටින් අතගාපු කලාව දේශපාලනය එක්ක පටලලා විශාල කළා.සමහර වෙලාවට සම්ප්‍රදාය හැකිලුවා.අලුත් දේවල් ඔහුගෙ ඇදිලි අස්සෙ ඉදගෙන අපේ හිතට මිමිණුවා.

ඒවා බරපතල විදිහට කියවන්න අවශ්‍යය අධ්‍යයනය,සංයමය වගෙ කාරණාවලින් දුරස් වුණත් නිකං අපැහැදිළිව හරි මේ පොළවෙ යථාර්තය සම්බන්ධ සමාජ දේශපාලන කියවීමක් තියෙන කෙනෙක්ට ඒවා අස්සෙ තියෙන ඉරි කෑලි,රූප සහ විවිධ වර්ණමය ආකෘති අපේ හිතට මොකද්ද වෙනසක් ඇති කරා.පෙම්වතියක් පෙම්වතෙක්ගෙ ලැම මත හිස තබාගෙන තොදොල් වෙනවා කියන කාරණයට වඩා ඒක වෙනස්.සුරතාන්තය බලාපොරොත්තුවෙන් රමණයේ යෙදෙන අතරෙ අල්ලපු ගෙදර ගැන කතා කරනවා වගෙ හැඟීමකට එහා ගිය සංවාදයක්.නිකං සුරතාන්තයත් ලබනවා හැබැයි මුදු සිප වැළඳ ගැනීම් වෙනුවට රළු හැසිරීම් එක්ක වගෙ.


එහෙම ලිංගිකව තෘප්තියට පත්වෙන අවස්ථා නැතුව නෙමෙයි.මෙතැනදි ඒ රළුකමම විඳින අය ඉන්න පුළුවන්.හැබැයි සුජිත් රළු බව කියන්නෙ මුදු බව හඳුනාගන්න.ඔහු පවතින දේ ඡේදනය කරලා අලුත් විදිහට දෙයක් කියනවද එහෙම නැත්නම් ඒ ඡේදනය හරහා එහි නොපෙනී තිබෙන දේ මතු කරලා පෙන්නනවද කියන එක තමයි සාකච්ඡාවට බඳුන් විය යුත්තෙ.

සුජිත් අරගලකාරයෙක්.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී හිටපු ශිෂ්‍ය නායකයෙක්.ඔහුට ශිෂ්‍ය අවධියෙ ඉදලම දේශපාලනයක් තිබුණා.ඒ දේශපාලනය ඇතුළෙ ඔහුට දැනෙන අධ්‍යාපනය තිබුණෙ නැහැ.ඒ නිසා ඔහු අරගල කළා.ඒත් අන්තිමට උපාධිය ලබාදෙන ගුරුකම අරගෙන ඔහු ආපහු ගම් වැදුණා.තමන්ට උගන්නන්න වෙලා තියෙන්නෙම තමන් ප්‍රතික්ෂේප කරන ක්‍රියාවලිය කියලා ඔහුට දැණුනම සහ ඒ පීඩාව අතරට සුනාමි වින්දිතයෙක් වීමත් එකතු වුණාම ඔහු අකමැති ඉගැන්වීමේ රටාවට සමු දුන්නා.ඒ කියන්නෙ ගුරු පත්වීම අත ඇරියා.තමන්ගෙ විරෝධාකල්පය ඉලක්ක වෙච්චි ක්‍රමය විසින් ප්‍රදානය කරපු උපාධි සහතිකයේ ඔහු චිත්‍ර අඳීනවා.වලංගුභාවය අවලංගු කර ගන්නවා.

මේ නිසා සුජිත් තමන්ගේ අභිලාෂයන්ට අවංකයි.ඒ වගෙම හුඟක් ශිෂ්‍ය නායකයො මයික් එක්ක දේශපාලනය කරද්දි සුජිත් වැඩි අවධානයක් දෙන්නෙ තමන්ගෙ විශය පථය ඇතුළෙ රෙඛාවන්ට වර්ණවලට.විශ්ව විද්‍යාලයෙ ඉදලම ඔහු කතා කරා වගේම කතා කරපු දේවල් ඇන්දා.තමන් හොඳටම දන්න දේ ප්‍රකාශන මාධ්‍යයක් හැටියට යොදා ගන්නට තරම් ඔහු අවංක වුණා.ඒ සම්බන්ධයෙන් ගැටළු තියෙන්න පුළුවන්.ඒ ප්‍රතිපත්තිමය සහ දාර්ශනික වශයෙන් තියෙන වෙනස්කම් එක්ක.හැබැයි ඔහු ඔහුට අවංකව වැඩ කරනවා.පොළවෙ වගෙම තමන්ගෙ චිත්‍රත් යම් කිසි ආකාරයක සටන් මාධ්‍යයක් හැටියට පාවිච්චි කරනවා.මේකට සටන් කියන වචනය හරියටම හරි යනවද කියන්න අමාරුයි.හැබැයි ගලාගෙන යන විදිහට ඔහු තමන්ගේ නිර්මාණ අස්සෙ හරස් වෙනවා.වැට බඳිනවා.එහෙම නැත්නම් බැඳපු වැටවල් බිඳගෙන උඩින් පනිනවා.


අන්න එහෙම හරස්වීම් සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශන පනහක් තමයි තමන්ගෙ වයස පනහක් වීම සම්බන්ධයෙන් පවත්වපු චිත්‍ර ප්‍රදර්ශනයට සුජිත් එකතු කරන්නෙ.වැඩේ තියෙන්නෙ සුජිත්ට වයස පනහක් වෙද්දි ඔහු ප්‍රායෝගික චිත්‍රමය ප්‍රකාශකයෙක් විදිහට අවුරුදු තිහකට ආසන්න වෘත්තිමය ජීවිතයක් හමාර කරලා ඉවරයි.මේ කාලය අවුරුදු පනහක් කියලා ගන්න බැහැ.ඊට වඩා විශාලයි.ජීවිතය ගෙවපු කාලයට වඩා විශාල විදිහට දැනෙන චිත්‍රමය සත්කාරයක් ඔහු මේ කාලය ඇතුළෙ කරලා තියෙනවා.සමහර විට අවුරුදු සීයක ජීවිතයකට මේ තරම් දේවල් සමාජයට එකතු කරන්න ලැබෙන්නෙ නැහැ.හැබැයි සුජිය පනහ වෙද්දි සීයක දේවල් එකතු කරලා තියෙනවා.

කෙනෙක්ගෙ ආයු කාලයට වඩා දෙයක් සමාජයට ඉතුරු කරනවා කියන එක පහසු දෙයක් නෙමෙයි.සුජිත් ඉන්නෙ ඒ දේ කරලා.ඔහු මතුපිටින් පෙන්වන සරලකම සහ අභ්‍යන්තරයේ තියෙන සංකීර්ණකම අතර සාකච්ඡාව සමඟ සමාජය කෙරෙහි බැඳුණු ආදරවන්තයෙක්.හැබැයි ඒ හරහා ඔහුටමත් ඔහු ගැන අපටත් විසංවාද තියෙන්න පුළුවන්. ඔහු ඒ ආදරය බදලා අල්ලන් ඉන්නවා.කඩාගෙන යාමට වගේම තුරුල්ලෙන් පනින්න හදන එකට විරුද්ධව කොන්දේසි විරහිතව සටන් කරනවා.

ඒ වගෙම විශයට ප්‍රේම කරන්නෙක් හැටියට ඔහු එහි තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් අරගල කරනවා.ඔහු විශ්වාස නොකරන දේ සම්බන්ධයෙන් සටන් කරන්න විවේචනය කරන්න ඔහුට කිසිඳු බැඳීමක් අදාළ වෙන්නෙ නැහැ.ඒ නිසා රේඛාමය සහ වර්ණමය ප්‍රකාශ වගෙම නිතර සුජිගේ අකුරුවලිනුත් සුජී කතා කරනවා.ඒවා ඇතුළෙ අනන්‍යතාවයක් තියාගන්න ඔහු වෙහෙසෙනවා.සඩාත්ම වැදගත් දේ එයයි.සුජිත් එක එක තැනදි එක එක විදිහ නෙමෙයි.ඔහුට කොතැනත් පේන සමාජ දේශපාලන අනන්‍යතාවයක් තියෙනවා.ඒක ඔහු සුරක්ෂිතව රැකගෙන ඉන්නවා.කාට හරි සුජිත් සම්බන්ධයෙන් ඇතිවන විරෝධයන්,විවේචන ආදි සියලු දේ අතර පිළිගත හැකි එක ඇත්තක් තියෙනවා.සුජිත්ගේ විදිහ හැම වෙලේම එකයි.ඔහුට අනන්‍යතාවයක් තියෙනවා.සුජිය පනහ ගහද්දි වැදගත්ම දේ ඔහු පළමු පිවිසුමේ සිට මේ දක්වා කරන ලද විවිධ නිර්මාණ සහ වෙනස්කම් අතරේ ඔහු ඔහු ලෙසම පැවතීමයි.අමාරුම දේ ත් ඒකයි.
සුජී පනහට පිය තබන කොට ඔහුට අපූරු තැග්ගක් ලැබෙනවා.ඒ පියුමි වාසනාගෙන්.සුජිත්ගෙ චිත්‍රවල රිද්මයට ඇය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන නර්තනය අලුත් වැඩක්.ඒක වෙනම සාකච්ඡාවට බඳුන් විය යුතු කාරණයක්.නර්තනයක්,චිත්‍රයක් එහමත් නැත්නම් සංගීත සංධ්වනියක්,ගීතයක් මේ කොයි දේ ත් කලා කෘතියක් හැටියට ගන්න පුළුවන්.ඒ චින්තනමය අභ්‍යාසය අපිට රේඛා සහ වර්ණ ඔස්සේ වගේම නමනීය සිරුරක චලනයන් එක්කත් විඳින්න පුළුවන්.සමහර විට පියුමිගේ ප්‍රකාශනය සුජිත්ගේ ප්‍රකාශනයේ ඇති සමස්තය නොවෙන්න පුළුවන්.මන්ද සුජිත්ව කියවා ගැනීම සාපේක්ෂ කාරණයක්.

උදාහරණයකට පියුමිගේ චලනයන් වගේම ඇගේ සිරුරේ හැඩත් මට ඇති කරන ආකර්ශණය සහ හැඟීම වෙන කෙනෙක්ට නොදැනෙන්න පුළුවන්.සමහර විට මම ආශක්ත වන්නෙ ප්‍රකාශනය ඉක්මවා පෙණුමට සහ හැඩයට වෙන්න පුළුවන්.ඒකත් හියට චිත්‍රයක වර්ණ එක්ක රේඛා එක්ක හරි ප්‍රකාශන අරුත නොගෙන බැඳෙනවා වගේ.ඒ නිසා විශයානුබද්ධව වගේම පෞද්ගලික කැමත්ත නිසා වෙන වෙනස්කම් නොසළකා හැරියමත් පියුමිගේ වැඩේට ඉතුරුවෙන විශාල වටිනාකමක් තියෙනවා.එතනදි වැදගත් වෙන්නෙ පියුමිගේ නැවුම් අභ්‍යාසය.විශය කාරණා දෙකක් එක රාමුවක වර්ණ කරලා එල්ලා තැබීම වෙන වැඩක්.හරියට චිත්‍ර නටද්දි නැටුම් පාට කරලා චිත්‍ර බවට පත් කිරීමක් වගේ.කලාගාරයක් කියන්නෙ සියලු කලාවන්ට විවෘත වූ තැනක් වෙනවනම් ඒක අපූරු නැද්ද?ඒ නිසා පියුමිගේ වැඩේ මරු!

රණසිංහ මුදියන්සෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.