*
Thursday, July 18, 2024
spot_img

Latest Posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු ආර්ථික ඉලක්ක සහ කොන්දේසි ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය

ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙන බවත්, එය ඉදිරියට ගෙන යාමට මුළු රටේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“ආර්ථික, මූල්‍ය ප්‍රශ්න සහ අයි.එම්.එෆ් ගිවිසුම පිළිබඳව මාධ්‍ය තුළ මෙන්ම වෙනත් ස්ථානවල කරුණු ගණනාවක් මතු කර තිබුණා.
ගරු කථානායකතුමනි, 2022 ජූලි මාසයේ අපේ රටේ තිබුණේ කෝලාහල සහ ගිනි තැබීම්. ඒ වගේම රාජ්‍ය බංකොලොත්භාවය. ඒ නිසා ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වුණා. දැන් මාස 08කට පසුව ලංකාවේ ආර්ථිකය ආපසු හැරවීම පිළිබඳ තිබෙන්නේ සාර්ථක කතාවක්. අද කියන්නේ Sri Lanka comeback story යනුවෙන්. අහිමි වූ ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙනවා. දැන් එය ඉදිරියට ගෙන යාමට මුළු රටේම සහයෝගය මම අපේක්ෂා කරනවා.

රටේ එදා පැවති තත්ත්වය පිළිබඳ මම නැවත කෙටියෙන් සඳහන් කරන්නම්. 2019 අගභාගයේ දී අපේ බදු කපාහැරිමෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක් අපට අහිමි වුණා. ඊට පසුව කොවිඩ් වසංගතය නිසා අපේ ආර්ථිකය තවත් පිරිහුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2022 පෙබරවාරි සිට, මාස 03ක් ඇතුළත 40%කින් පිරිහි ගියා. ඉන් අනතුරුව රුපියල දිගින් දිගටම පිරිහුණා. 2022 වසර පුරාම ආර්ථික වර්ධනය 7.8%කින් හැකිළි ගියා. 2022 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 70%ක් ඉක්මවන අතර, ආහාර උද්ධමනය 95%ක් තරම් ඉහළ ගියා.

මෙම පසුබිම තුළ පසුගිය ජූලි මාසයේ දී, රටේ ජනතාව දුක් විදින අවස්ථාවක සහ ඔවුන්ගේ බලාපොරොත්තු කඩවු අවස්ථාවක රට යළි ගොඩගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කළ නිසා මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා. උද්ඝෝෂණ, විරෝධතා මැද මම එම වගකීම් භාර නොගත්තා නම් රට සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මගේ ගෙදර පුස්තකාලයේ චිත්‍ර ගිනිබත් වී විනාශ වූවාට මම පසුබට වුණේ නැහැ, රට විනාශ වීමට ඉඩ නොතබා රට ගොඩගැනීමට අපි ක්‍රියා කළා.

මම කියන්න කැමතියි, ඒ කාලය වන විට ශ්‍රි ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 83.6යි. එහි විදේශ ණය ඇමරිකන් ඩොලර් බිලියන 41.5යි. දේශීය ණය ඇමරිකන් ඩොලර් බිලියන 42යි. මේ වන විට රටේ සමස්ත ණය ප්‍රභේද දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 128%ක් බවට පත්ව තිබුණා. ද්විපාර්ශ්වික සහ පුද්ගලික ණය ආපසු නොගෙවෙන නිසා 2022 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා නොගෙවු හිඟ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 2.7ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබුණා.

විදේශ විනිමය හිඟය උග්‍ර අතට හැරීම නිසා 2022 මැද භාගය වන විට ශ්‍රී ලංකාවට විදේශවලින් භාණ්ඩ හා සේවා ආනයනයට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. 2022 මැයි මාසයේ දී විදේශ ණයවලට අදාළ පොළිය ගෙවීමට අසමත් වුණා. මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවුණේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

ආණ්ඩුව එදා භාරගත් අවස්ථාවේ මට තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා ආරම්භ කිරීමට. ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී විස්තිර්ණ ණය පහසුකම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟත්වයකට පැමිණියා.

එම විස්තීර්ණ ණය පහසුකමට ප්‍රධාන ප්‍රතිසංස්කරණ 06ක් ඇතුළත්ව තිබෙනවා.

(අ) ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම
මේ යටතේ රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ, සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම හා රාජ්‍ය අංශයේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණ ඇතුළත්

(ආ) රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම

(ඇ) මූල්‍ය ස්ථායිතාව ප්‍රතිස්ථාපනය කිරීම, නම්‍ය විදේශ විනිමය අනුපාත ක්‍රමයක් යටතේ විදේශ සංචිත ගොඩනැගීම තහවුරු වන අන්දමට බහුවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම.

(ඈ) මූල්‍ය අංශයේ ස්ථායිතාව තහවුරු වන ආකාරයට අදාළ ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කණ ක්‍රියාත්මක කිරීම

(ඉ) දූෂණය පාලනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම – මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊට අදාළ කෙටුම්පත සභාගත කරනු ඇති.

(ඊ) ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
මේ අනුව තමයි අද අපි විදේශ ණය හිමියන්ගෙන් මූල්‍යකරණය සහතිකය ලබාගත්තේ. විශේෂයෙන්ම පැරිස් සමාජය සහ ඉන්දියාව

එක්ව කටයුතු කර අපට එය ලබා දුන්නා. ඉන්දියාව තමයි පළමුව එය ප්‍රකාශයට පත් කළේ. ඒ පිළිබඳ අපි ස්තූතිවන්ත වෙනවා. ‍
චීනය ඒ පිළිබඳව වෙනම කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. එසේ නම් එක පසෙකින් පැරිස් සමාජය සහ ඉන්දියාව සමග අපි සාකච්ඡා කරනවා. අනෙක් පසෙන් චීනය සමග සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාවලින් පසුව පුද්ගලික ණය හිමියන් සමග අපට සාකච්ඡා පැවැත්වීමට තිබෙනවා. මෙම ගිවිසුම නිසා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 03ක් පමණ ලබන වසර 04 තුළ ලැබෙනවා. ඒ වගේම අනෙක් ආයතන හරහා අපට ඩොලර් බිලියන 07 ක පමණ මුදලක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ මුදල් අවශ්‍යයි.

ඒ වගේම විදේශ බැංකු සහ මූල්‍ය ආයතනවල විශ්වාසය අපි නැවත ලබාගෙන තිබෙනවා. දැනටම රට තුළ ආර්ථික ස්ථාවරභාවය ඇතිවී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

අප 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්වල එළැඹි නමුත් අපි ඒවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. 17 වන අවස්ථාවේදී ස්ථාවරත්වයකට පැමිණෙන විට අපේ දීර්ඝකාලීන දුර්වලතා නැතිකර නව වැඩසටහනකට යාමට තිබෙනවා.

මෙහිදී කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා. එය අපේ ද්විපාර්ශ්වික රටවල් සමගත්, පුද්ගලික ණයහිමියන් සමගත් සාකච්ඡා කළා. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට අවශ්‍යයි. අපි ණය ප්‍රතිව්‍යුහගත නොකළහොත් අපට ද්‍රවශීලතාව නැති වෙනවා. රජයට ඉදිරියට යාමට නම් රුපියල් වලින් හෝ ඩොලර් වලින් එය සිදු කර ගැනිමට වෙනවා.රජයට අවශ්‍යයි එම සේවය සඳහා මුදල් ලබා ගැනීමට.

ඒ නිසා පළමුව අපට තිබෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කිරීමට. එම සාකච්ඡා ආරම්භ කිරීමට අපි දැන් බලාපොරොත්තු වෙනවා, ඔවුන් අපට දන්වා තිබෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. දැනට අවසාන තිරණයකට එළැඹිලා නැහැ. නමුත් මේ පිළිබඳ සාකච්ඡා කරමින් අපි තීරණයක් ගත යුතුයි. කොන්දේසි ඉදිරිපත් කර සාකච්ඡාවලට යා නොහැකි අතර ඔවුන් කොන්දේසි ඉදිරිපත් කර අප සමග සාකච්ඡාවලට එනවා. එහෙත් අපට වඩා පහසුයි කොන්දේසි නැතිව සාකච්ඡාවලට එක්වීම.

විශේෂයෙන්ම මෙහිදී සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කළයුතුයි. කිසිවෙකුට මෙහිදී හානියක් සිදු වන්නේ නැහැ. ඇතැම් බැංකු කියනවා මේකට මුහුණ දෙන්න බැහැ කියලා. මම ඔවුන්ට කියන්නේ එසේනම් ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ භාරගන්න කියලා.

කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියනවා, විවිධ කොන්දේසි ඉදිරිපත් කරන්න බැහැ. අපි පාර්ලිමේන්තුවේ දී තීරණය කරලා මොකක්ද කළයුත්තේ කියා දැනුම් දෙන්නම්. මම දැක්කා අර්ථ සාධක අරමුදල ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සාමාජිකයන්ට හානියක් වීමට අපි ඉඩ දෙන්නේ නැහැ මොකද එය ආරම්භ කළේ අපි.

දිළිදු ජනතාව වෙනුවෙන් අපි අවශ්‍ය වැඩසටහන් කරගෙන යනවා. ලෝක බැංකුව දැන් ඒ සඳහා මුදල් ලබා දී තිබෙනවා. ඔවුන් කියන්නේ දිය යුත්තන්ට දෙන්න, සුදුසුකම් නැති අය ඉවත් කරන්න කියලා. ඒ වැඩසටහන අපි දැන් කරගෙන යනවා. විශේෂයෙන්ම අපට අවශ්‍ය රට තුළ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම වගේම අඩු ආදායම්ලාභි ජනතාව ආරක්ෂා කිරීම.

ඒ නිසා අපි දැන් මේ සාකච්ඡා පටන් ගන්නවා. පැරිස් සමාජය සහ ඉන්දියාව සමග ඒකාබද්ධ සාකච්ඡාව එක වේදිකාවක පැවැත්වෙනවා. චීනය සමග සාකච්ඡා වෙනම පැවැත්වෙනවා. ඒ පිළිබඳගත යුතු පියවර මම කියන්න කැමතියි. මොකද අපිට මේ පිළිබඳ සැගවීමට කරුණු නැහැ. ඉදිරි පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි එකඟ වූ පරිදි ක්‍රියාමාර්ග 09ක් අ‍රගෙන තිබෙනවා. ඉතින් අපි එම සහනය ලබාගැනීමට ඒ අනුව සුදුසුකම් ලබනවා.

රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම

• රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම යටතේ වැඩසටහන් ප්‍රමිතීන්ට අනුකූලව 2023 දී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට සහාය වීම සඳහා ආදායම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

• වැඩසටහන් ප්‍රමිතීන්ට අනුකූල වන සංශෝධිත 2022 අයවැය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම,

• 2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම,
රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ

• 2018 ඉන්ධන මිල සූත්‍රය මගින් නියම කර ඇති පරිදි මාසික සිල්ලර ඉන්ධන මිල ගැළපීම ස්වයංක්‍රීය කිරීමට කැබිනට් අනුමැතිය ලැබීම,

• අර්ධ වාර්ෂික පිරිවැය ප්‍රතිසාධනය පදනම් කරගත් විදුලි මිල ගැළපීම ස්වයංක්‍රීය කිරීමට කැබිනට් අනුමැතිය ලැබීම,බහු කුළුණු

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර 2019 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ සංශෝධන සහිත නව මහ බැංකු පනතට කැබිනට් අනුමැතිය ලැබීම යන කරුණු එම ක්‍රියාමාර්ගවලට අයත්. මේවා ක්‍රියාත්මක කර පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත යුතුයි.
මූල්‍ය ස්ථාවරත්වය

• මහ බැංකුවේ අර්බුද කළමනාකරණ බලතලවල ප්‍රධාන අංග ශක්තිමත් කිරීම සඳහා බැංකු (විශේෂ විධිවිධාන) පනතට කැබිනට් අනුමැතිය හිමි වුණා.

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර ස්ථාපිත කර ඇති සමුද්දේශ කොන්දේසි සහ කාලසීමාව මත පදනම්ව බැංකු අංශයේ කාර්යක්ෂමතාව සොයා බැලීමට ස්වාධීන සමාගමක සහය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා ගැනීම,
මිල ස්ථාවරත්වය

• මිල ස්ථාවරත්වය ස්ථීර ලෙස ඉහළ යන, සැබෑ ප්‍රතිපත්ති අනුපාත ඉදිරියට බලා ගැනීම සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම්ව සියයකින් වැඩි කළ යුතුයි.

ඊළඟට යෝජිත ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක (PC) සහ දර්ශක ඉලක්ක (IT) සභාවට දැනුම් දීමට අවශ්‍යයි.
මධ්‍යම රජයේ ප්‍රාථමික ශේෂය 2022 දෙසැම්බර් අවසානය වන විට සෘණ බිලියන 895 යි. 2023 දෙසැම්බර් අවසානය වන විට එය සෘණ බිලියන 209 ක් කිරීමට අපට අවශ්‍යයි.

රජයට ශුද්ධ ණය 2022 දෙසැම්බර් අවසානය වන විට රුපියල් ට්‍රිලියන 02යි, බිලියන 834යි. එය 2023 දෙසැම්බර් අවසානය වන විට ට්‍රිලියන 2යි, බිලියන 740ක් විය යුතුයි.

රු. බිලියන 2,740 විය යුතුයි.

2022 දෙසැම්බර් අවසන් වන විට මධ්‍යම රජයේ හිඟ වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 60 ක්. එය රුපියල් බිලියන 30 වනු ඇතියි.
මධ්‍යම රජයේ බදු ආදායම 2022 දී ට්‍රිලියන 01 යි, හත්ලක්ෂ පනස් එක් දහසකි. මාර්තු අගදී එය බිලියන 650යි. නමුත් ආනයනය අඩුවීම නිසා රේගුව වැනි සමහර ක්ෂේත්‍රවලින් අපට ආදායම අඩුවක් වී තිබෙන බව මම කිව යුතුයි.

නමුත් අනෙක් අතට, සමහර බදු ක්ෂේත්‍රවල සෘජු බදුකරණය අපි වැඩි කර තිබෙනවා. අවසාන වශයෙන්, වසර අවසානයේ බදු ආදායම් ඉලක්කය බිලියන 2.9 ක් ලෙස සඳහන් වෙනවා.

මධ්‍යම රජය විසින් සමාජ වියදම් සඳහා දරන ලද පිරිවැය 2022 බිලියන 142යි. 2023 අවසන් වන විට එය බිලියන 187ක් වෙනවා.
මහා භාණ්ඩාගාර ඇපකර සීමාවන් (Treasury guarantees ceilings) පසුගිය වසරේ ට්‍රිලියන 1.159 ක් වූ අතර එය ට්‍රිලියන 1 බිලියන 700 දක්වා ඉහළ යනු ඇත.

සාර්ව ආර්ථික ගැලපීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක මිණුම් ලකුණු මම ඔබට කියන්නට කැමැතියි.

• ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම

• විශාලතම රාජ්‍ය බැංකු දෙක සහ විශාලතම පුද්ගලික අංශයේ බැංකු තුන සඳහා බැංකු කටයුතු නිශ්චය කිරීමේ ක්‍රියාවලිය (bank diagnostic exercise) වත්කම් තත්ත්ව සමාලෝචනය සම්පූර්ණ කිරීම

• මැයි අවසානය වනවිට සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයට පාර්ලිමේන්තු අනුමැතිය සහ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් හඳුනාගැනීම සඳහා නව සුදුසුකම් නිර්ණායක සැකසීම

• ජූනි අග වනවිට ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමේ පුළුල් උපාය මාර්ගයකට කැබිනට් අනුමැතිය ලබා ගැනීම

• ජූනි අග වනවිට බැංකු පනතේ සම්පූර්ණ සංශෝධනයක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම

• ජූනි අග වනවිට විස්තීරණ වත්කම් ප්‍රතිසාධන ප්‍රතිපාදන අපේක්ෂාවෙන් පවතින දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සමඟ එය සමපාත කිරීම සඳහා නව තරගකාරිත්වය වළක්වන නීති (anti-competition legislation) සම්පාදනය කිරීම. එය නව දූෂණ විරෝධී පනතකි.

• ජූලි අග වනවිට රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට(fiscal consolidation) සහාය වීමට ආදායම් ක්‍රියාමාර්ග සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම

• ජූලි අග වන විට බැංකු පද්ධති ප්‍රාග්ධනය සහ විදේශ විනිමය ද්‍රවශීලතා හිඟතා පියවීම සඳහා මාර්ග සිතියමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කිරීම සහ ශක්‍ය නොවන බව තක්සේරු කර ඇති බැංකුවලට මැදිහත් වීම

• සැප්තැම්බර් අග වන විට ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) සම්පූර්ණ කිරීම, එහි ආවරණය සියලු ශීර්ෂ 220 දක්වා පුළුල් කිරීම.

• 2023 දෙසැම්බර් අග වන විට වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2024 විසර්ජන පනත සහ වියදම් ප්‍රතිපාදන සදහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම

• දෙසැම්බර් අග වන විට අයවැය සැකසීමේ ක්‍රියාවලිය, අදාළ ආයතනවල භූමිකාවන් සහ වගකීම් සහ තොරතුරු සහ වගවීමේ අවශ්‍යතා සඳහා අවසර දෙන නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

• දෙසැම්බර් අග වන විට විදුලි සහනාධාරය නිවැරදිව මැනීම සඳහා තොග සැපයුම් ගනුදෙනු ගිණුම (BSTA) වැඩිදියුණු කිරීම සහ පිරිවැය ප්‍රතිසාධනය පදනම් කරගත් විදුලි ගාස්තු සහ රජයේ හුවමාරු අවශ්‍යතාවය තීරණය කිරීම සඳහා එය භාවිතා කිරීම ආරම්භ කිරීම

• සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවල ඉදිරි දැක්මක් මත අර්ධ වාර්ෂික සූත්‍ර මත පදනම් වූ ගැලපීම් සමඟ අවසාන පරිශීලක විදුලි ගාස්තු කාලසටහන අඛණ්ඩව එහි පිරිවැය-ප්‍රතිසාධනයට සැකසීම

ණය තිරසාරත්වය සාක්ෂාත් කර ගැනීම

• 2032 වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 කට වඩා අඩු විය යුතුය
විදේශ විනිමය ණය සේවාකරණය

• මධ්‍යම රජයේ වාර්ෂික විදේශ විනිමය ණය සේවා 2022 දී 9.4% ට සාපේක්ෂව 2027-2032 අතර සෑම වසරකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5කට වඩා අඩු මට්ටමක පැවතිය යුතුය.

• 2023-2027 කාලය තුළ ණය සේවා අඩු කිරීම බාහිර මූල්‍ය හිඩැස් පියවීමට ප්‍රමාණවත් විය යුතුය.

කාර්ය මණ්ඩල මූලික තත්ත්වය යටතේ, 2022 දී එකතුවූ හිඟ මුදල් ද ඇතුළුව ණය සේවා අඩු කිරීම සඳහා ඩොලර් බිලියන 17 ක් අවශ්‍ය වෙනවා.

ඉතින් අපි එක පැත්තකින් බිලියන 17ක ණය අඩු කිරීමක් සිදු කිරිමටයි අපේක්ෂා කරන්නේ. ඔබට එය අවශ්‍යද, නැද්ද, අපි ණය ප්‍රතිව්‍යුහගත කරනාවද, එසේ නොමැතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව මෙම තත්ත්වය කළමනාකරණය කර ගන්නවාද. එයයි මට ඔබ සියලුදෙනාට පැහැදිළි කිරීමට අවශ්‍ය වී තිබුණේ.

එහෙත් අපට ස්ථාවරභාය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම බැලුවොත් මේ කාලයේදී, 2019 නාමික දළ දේශීය නිෂ්පාදනය එක්සත් ජනපද ඩොලර් බිලියන 89 ක් පමණක් වුණා. යළි 2019 පැවති ප්‍රමාණයට දළ දේශීය නිෂ්පාදන ප්‍රමාණයට ළගාවිය හැකි වනුයේ 2028 වසරේදී. 3%ක වර්ධන වේගය සමග සිටියොත් අවුරුදු නවයක ජාතික ආදායම අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසරේදී 3%කින් පමණ පහළ යනු ඇති බව දක්වා තිබෙනවා.

ආර්ථික ධනාත්මකභාවය තහවුරු වීම අපේක්ෂා කළ හැක්කේ 2023 අග කාර්තුවේදී. 2019 සිට අඩු තරමින් 3% හෝ 7%කින් ආර්ථික වර්ධනයක් වසර නවයක් තුළ තිබුණේ නම් අපගේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 110 ක් වෙනවා. එහෙත් අපි 5%ට ගියොත් ඩොලර් බිලියන 130 ක් වෙනවා. ඇත්ත වශයෙන් අපිට පළමු අවුරුදු දෙක තුනේදී 3%ක් හෝ 4% කට යාමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඊට පසුව මේ කාලසීමාව තුළදී අඩුම තරමින් 6%ක, 7%ක වර්ධන වේගයකින් යන්න තිබෙනවා. ඒ සඳහා මේ සභාවේ සියලුම දෙනා එකඟ වෙන්න. නමුත් මෙය 7%ක්, 8%ක් කරන්න පුළුවන්. ඒ සඳහා අපට අවස්ථා තිබෙනවා. ඒකට තමයි අපි සම්පූර්ණ නීති ප්‍රතිව්‍යුහගත කරන්නෙ. සමහර නීති ඉවත් කරන්න තිබෙනවා. ඇයි සංස්ථා විකුණන්නෙ කියලා සමහරු අහනවා. ඒවා පෞද්ගලික අංශයට මීට වඩා හොඳට ක්‍රියාත්මක කරන්න පුළුවන්. පෞද්ගලික අංශයට අපි ඒවා භාරදෙමු.

ඒ වගේම එක එක අමාත්‍යාංශ කැමති ආකාරයට අවුරුදු 25ක් 30ක් තිස්සේ විවිධ සීමා පනවලා තිබෙනවා. අපි දැන් ආර්ථිකය දිහා බලලා, තිබෙන සීමා කුමක්ද, ඉවත් කරන සීමා කුමක්ද කියලා තීරණයක් ගමු. අපට අවශ්‍ය ඉතා තරගකාරී සමාජ සාධාරණ වෙළෙඳපොළ ක්‍රමයක්. අපට හරිත ආර්ථිකයක් අවශ්‍යයි. ආර්ථිකය ඩිජිටල්කරණය කළයුතුයි. මේ සදහා විවිධ ක්‍රියාකාරකම් තිබෙනවා. කෘෂිකර්මය නවීකරණය කිරීම, අලුත් කර්මාන්ත ගෙන ඒම. ඒ පිළිබඳ මම වෙනම සාකච්ඡාවක් කරනවා.

අයිඑම්එෆ් ගිවිසුම හැර වෙනත් විකල්පයක් අපට නැහැ. කවුරුත් වෙන විකල්ප යෝජනා කර නැහැ. විකල්ප නැත්නම් මෙය අනුමත කරමු. මම විපක්ෂයටත් කියනවා එකතු වෙලා වැඩ කරමු කියලා. දෙපාර්ශ්වයම එකතු වෙලා මෙය සම්මත කර ගනිමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අපේ රටට පැමිණෙන්නේ මාස හයෙන් හයට. ඒ නිසා අඩුපාඩු තිබෙනවා නම් සාකච්ඡා කර විසඳුමකට එන්න පුළුවන්. වෘත්තීය සමිති බදු ගැන ප්‍රශ්න මතු කර තිබෙනවා. මේ සියලුම දෙනා සාකච්ඡා කරලා විසදුමකට පැමිණ, ඊට පසුව සියලුම දෙනාම එකතු වෙලා එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර ගනිමු.

2048 වෙනකම් මේ රටේ තිබෙන ජාතික ප්‍රතිපත්ති රාමුව කුමක්ද? පළමු අවුරුදු පහේ තිබෙන්නේ ප්‍රතිපත්ති හා වැඩසටහන්. අපි ඒවා සාකච්ඡා කරමු. ජාතික සභාවක් තිබෙනවා.

විශේෂයෙන්ම වෙනත් කාරක සභාවල් තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කර ගනිමු. මේ සඳහා අපි එකතු වෙමු. විවිධ මත තිබෙන්න පුළුවන්. සියලුම දෙනාම මේ වැඩසටහනට සහාය දෙන්න.

දැන් තිබෙන්නෙ 2048 වෙනුවෙන් රට හදන්න. අපි මෙය සිදු නොකළහොත් රටේ තරුණ පරපුර පාවා දුන්නා වෙනවා. ඔවුන්ගේ අනාගතය නැති කළා වෙනවා. රටේ තරුණයන් ගැන හිතන්න. බල කේන්ද්‍රය ගැන පමණක් හිතන්න එපා. මේ වැඩසටහන කළේ නැත්නම් තව අවුරුදු දෙක තුනකින් අපි කාටවත් ඉන්න බැරි වෙනවා. ඒ නිසා සියලු දෙනාම එකතු වෙන්න. මේක අනුමත කරන්න. ඊට පසුව අපි එකට එකතු වෙලා 2048 වෙනකම් තිබෙන ප්‍රතිපත්ති මාලාව සකස් කර ගනිමු. ඒ වගේම පළමු අවුරුදු පහ තුළ තිබෙන වැඩසටහනත් ක්‍රියාත්මක කරන්න සහාය ලබා දෙන්න”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ඊයේ (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan