*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

හදිසි මහා මැතිවරණයක් ගැන යලිත් කතාබස් – රනිල් බැසිල් යලි හමුවේ – රනිල්ගේ ආරාධනය – IMF වෙනස් කරන බව සජිත් කියයි – රාජිත ප්‍රේමදාස ගුණ සමරුවේ – ජනාධිපති වීසා ප්‍රශ්නය විසඳයි – ජාතික ආණ්ඩුවක්? පොහොට්ටු ආධාරකරුවන්ට ධම්මික දීපු උත්තරේ

  • හදිසි මහා මැතිවරණයක් ගැන යලිත් කතාබස්
  • රනිල් බැසිල් යලි හමුවේ
  • රනිල්ගේ ආරාධනය
  • IMF වෙනස් කරන බව සජිත් කියයි
  • රාජිත ප්‍රේමදාස ගුණ සමරුවේ
  • ජනාධිපති වීසා ප්‍රශ්නය විසඳයි
  • ජාතික ආණ්ඩුවක්?
  • පොහොට්ටු ආධාරකරුවන්ට ධම්මික දීපු උත්තරේ

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණයට ඇත්තේ තවත් මාස පහකි. ඊට පෙර මහා මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් එවැන්නකට ඉඩක් නැතැයි ද මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණයක් බවට ද ජනාධිපතිවරයා ගේ සමීපතමයන් බොහෝ දෙනෙකු දරන අදහස ය. පොහොට්ටුවේ බහුතරයකට අවශ්‍ය වන්නේ මහා මැතිවරණයකි. ඒ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් පසුව පැවැත්වෙන් මහා මැතිවරණයක තත්වය ඔවුන් දන්නා නිසාය.

මහමැතිවරණයකට පසු ජාතික ආණ්ඩුවක්?

මුලින් මහා මැතිවරණයක් පැවැත්වුවහොත් ඉන්පසු පොහොට්ටුවේ හැසිරීම කුමක් වනු ඇත්දැයි ඇතැම්විට ජනාධිපතිවරයා පවා සිතනවා වන්නට පුළුවන. එසේම හදිසි මහා මැතිවරණයක වාසිය එක්සත් ජාතික පක්ෂයට ද නැත්තේ නොවේ.

අනෙක් අතට දැනට ඇති තත්වය මත කිසිඳු පක්ෂයකට තනිවම ආසන 113ක් ලබා ගත නොහැක. එවිට ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගන්නටත් ඒ හරහා ජනාධිපතිවරණයට යන්නටත් ජනාධිපති  රනිල් වික්‍රමසිංහට හැකියාව තිබේ. එවිට ආණ්ඩුවේ ඇමතිකම් තීරණය කරන්නේ රනිල්ය.

මහ මැතිවරණයකට ප්‍රමාද වැඩි ද?

එහෙත් ඇතමුන් පවසන්නේ මහා මැතිවරණයක් පවත්වන්නට දැන් ප්‍රමාද වැඩි බවය. කෙසේ වෙතත් මැයි 15 වැනි දා ට පෙර හෝ මැයි 31 වැනි දාට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ද ඇතැමුන් පවසති. එහෙත් තවත් පිරිස් පවසන්නේ මේවා කිසියම් පාර්ශව විසින් පතුරුවා හරින ප්‍රචාර පමණක් බවය. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සති හතක කාලයක දී මහා මැතිවරණය පැවැත්වීම කළ හැකිය.
කෙසේවෙතත් ඉඩම් බෙදාදීම, නිවාස ලබාදීම, අස්වැසුම, විදුලි බිල් අඩු කිරීම වැනි සහන රැසක් කඩිමුඩියේ ලබා දෙන්නේ නිකමට නොවේ. මාස පහකින් පැවැත්වෙන ජනාධිපතිවරණයකට දැන්ම සහන ලබා දුනහොත් ඒවායේ බලපෑම ජනාධිපතිවරණ දිනය වන විට ඉතාම අඩුය. එම නිසා මේ සහන පසුපස මැතිවරණයක සේයාවන් තිබිය හැක. මේ අතරේ පසුගිය සතියේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා පැවැත්විණි.

මේ අතර මෙවර මැයි  දිනයට සියලු දේශපාලන  පක්ෂ තමන්ගේ ආධාරකරුවන් ගෙන්වා ශක්තිය ප්‍රදර්ශනය කරන ලදී. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගැන විවිධ තොරතුරු පැතිරයමින් තිබුන ද මැයි දිනයේ සජබයේ  කිසිවකුත් එක්සත් ජාතික පක්ෂයට එක්වුයේ නැත.

ජනපති රනිල්ගෙන් රට ගොඩනගන්නට සියලු පක්ෂවලට ආරාධනා

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින්  පැවසීය.

රැක ගත් ආර්ථිකය කඩා දමන තීරණ ගතහොත් යළිත් ඉන්ධන පෝලිම් සහිත අඳුරු යුගයකට රට ඇද වැටෙන බව ද ජනාධිපතිවරයා කීය.ලංකාවේ හොඳම නැකැත් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම රටට බව පැවසූ ජනාධිපතිවරයා හැම විටම රට වැටුණු විට ගොඩට ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව ද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ” යළි නොවැටෙන අභිමානවත් රටක්”යන තේමාවෙන් මාලිගාවත්තේ දී එජාප මැයි දින සමරු රැළිය පැවැත්විණි.
දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාවගෙන් මාලිගාවත්ත ප්‍රදේශය පිරී ගොස් තිබූ අතර මාලිගාවත්තට පිවිසෙන සියලුම මාර්ග ඔස්සේ පෙළපාලි වලින් පාක්ෂිකයන් රැස්වීම් භූමියට පැමිණෙන අයුරු දැක ගත හැකි විය.

රාජිත ප්‍රේමදාස ගුණ සමරුවේ

සජබ මැයි රැලියට මෙවර කළුතරින් වැඩිම පිරිස් රැගෙන ආවේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හා බණ්ඩාරගම සංවිධායක නයනක රන්වැල්ල ය. රාජිත මැයි දිනය දා උදෑසන දිවංගත ජනාධිපති රණසිංහ  ප්‍රේමදාස ගේ ගුන සමරුවට සහභාගිවූ අතර කළුතර ආධාරකරුවන් මැරෙයින් ඩ්‍රයිව් හි දී හමුවී ආපසු තම නිවෙස බලා ගියේ පසුගිය දිනවල අසනීප තත්වයෙන් සිටිනිසා වෛද්‍ය උපදෙස් මත විවේක ගන්නටය. රාජිතගේ ආධාරකරුවෝ සමඟ සජබ මැයි පෙළපාලියට රාජිතගේ බිරිඳ වෛද්‍ය සුජාතා සේනාරත්න සහභාගී වුවාය. කළුතර ජනතාවට රාජිත ලෙසටම සුජතා ද සමීපය.
නයනක රන්වැල්ල කළුතර දේශපාලනයේ තරුණ නායකත්වයයි. තම මාමා වන තිලක් කරුණාරත්නගෙන් ලද අභාෂය මෙන්ම මාධ්‍යවේදියකු ලෙස ජනතා ප්‍රශ්න පිලිබඳ අවබෝධය හේතුවෙන් නයනක මේ වන විට කළුතර ජනප්‍රිය නායකයෙකි.

සජබ පාලනයකදී නව IMF ගිවිසුමක් – සජිත්

සමඟි ජන බලවේගයේ රජයක් යටතේ ජනතා හිතකාමී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ සංශෝධිත නව ගිවිසුමකට එළඹෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය මැයි රැළිය අමතමින් පැවසිය.

”රටේ ජනතාව ජීවත් කරවන රට නිවැරදි මගට යොමු කරවන ජනතාවාදී ජනහිතකාමී පොදු ජනවාදී සංශෝධනයට ලක් වූ අලුත් අයි එම් එෆ් ගිවිසුමක් නිර්මාණය කරනවා” යයි ඔහු එහිදී අවධාරණය කළේය.

තම රජයක් යටතේ රටට හා ජනතාවට ලබාදෙන සහන පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විපක්ෂනායකවරයා එම රැලියේ දී පොරොන්දු පත්‍රයක් ද ඉදිරිපත් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේග මැයි දින රැළිය අමතමින් මෙසේ සඳහන් කළේය.

”අපි මේ මැයි රැළිය පවත්වන්නේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය වන වසරක”
”අපි මේ මැයි රැළිය පවත්වන්නේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය වන වසරක. අපේ රටේ තීරණාත්මක ඒ වගේ ම අතිශය අවදානම් අවස්ථාවක දයාබර සෙනෙහෙබර ලක්ෂ 220ට රටේ අනාගතය තීන්දු කරන්න ලැබෙනවා. සමහරෙක් බොහෝ තැන්වල කියනවා පොරොන්දු දේශපාලනය පිළිගන්නේ නැහැ කියලා. මම ඒ අයට කියන්න කැමතියි එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් පොරොන්දු දීලා ඉටු නොකරපු කණ්ඩායම්වලට විතරයි කියන එක, සජිත් සඳහන් කළේය.

ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා බවත්  ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමනක් යෑමට අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බොරැල්ල, කැම්බල් පිටියේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින රැළියේ දී  පැවසීය.

මෙම මැයි රැළියත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය පෙන්වීමට හැකි වූ බවත් රටේ හතර වටෙන් කැම්බල් පිටිය එකතු වී සිටින ජනතාව ප්‍රදර්ශනය කරන්නේ තලන පෙළන පොදුජන පෙරමුණ තව තවත් මුවහත් වන බවත් රාජපක්‍ෂ  කීය.

තමන් ඇතුළු කණ්ඩායම හොරු යැයි පවසමින් මඩ ගහසා බොරු කර රටේ අනාගතය නැති කිරීමට දෙස් විදෙස් බලවේග රාශියක් ක්‍රියාත්මක වූව ද රටෙත් ජනතාවගේ අභිලාශ වෙනුවෙන් එම සියලුම අභියෝග ජයගත් බවත් ඇතැම් පක්‍ෂ කම්කරු ජනතාව හැමදාම සටන් බිමේ ඉත්තන් හැටියට තබාගැනීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

පොහොට්ටු ආධාරකරුවන්ට ධම්මික දුන් පිළිතුර

පොහොට්ටුවේ මැයි දින රැලියේ වැඩිම අවධානය දිනාගත්තේ ධම්මික පෙරේරාය. පොහොට්ටුවේ මැයි රැලියේ ඉදිරියෙන් ඔහු අසුන් ගෙන සිටියේ බැසිල් රාජපක්ෂ සහ නාමල් සමගය. පොහොට්ටුවේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මිකට ලැබෙන බවට පැතිරයන ආරංචි මීට හේතුවී තිබේ.

මේ නිසා පොහොට්ටුවේ ආධාරකරුවන් මෙන්ම විවිධ දේශපාලනඥයෝද ධම්මික පිරිවරාගෙන ඒ සම්බන්ධයෙන් විමසා තිබේ. එහෙත් ඊට සිනහවකින් පිළිතුරු දීම මිස වෙනත්  කිසිවක් ප්‍රකාශ නොකරන්නට මෙහි දී ධම්මික කටයුතු කර තිබේ.

මාලිමා රජයක ඇමතිවරු 25 යි – අනුර කුමාර

ජාතික ජන බලවේගය විසින් පිහිටුවන අමාත්‍ය මණ්ඩලය සඳහා මේ වන විට අමාත්‍යවරුන් සූදානම් කර අවසන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කළේය.

තම රජයක් යටතේ ඇමතිවරුන් පත් කරන්නේ 25 දෙනෙකු පමණක් බව ද ඔහු පැවසීය.

එම අමාත්‍යංශ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන් ද විසි පස්දෙනෙකු පත් කරන බවත් හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරණයෙන් ජයගත් පසු එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ද ඔහු  පැවසුවේ ජාතික ජන බලවේගය විසින් කොළඹ දී පවත්වන ලද මේ රැළියේ දීය.

වීසා ප්‍රශ්නය නිසා සංචාරකයන් අතරමං

මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් සැලසීමට පෞද්ගලික සමාගමකට අවස්ථාව ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කිරීමත් සමග ඊට එරෙහිව දැඩි මහජන විරෝධයක් රජයට එල්ලවීම පසුගිය සතියේ සිදුවූ විශේෂ සිදුවීමක් විය.
මෙතෙක් එය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද අතර ඒ සඳහා රාජ්‍ය ආයතනයක් වන ශ්‍රීලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම පහසුකම් සපයා තිබුනේ ඩොලර් එකක ගාස්තුවකටය. එහෙත් පසුගිය සතියේ මෙය නව විදේශීය සමාගමකට පවරන ලද අතර ඒ හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දිගු පෝලීම් ඇතිවූ අතර සංචාරකයන්ට දැඩි ප්‍රමාදයන්  හා අපහසුතා ඇති විය.

වීසා ගේම කාගේ වැඩක් ද?

1949 දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ට වීසා පහසුකම් ලබාදීම සිදුකෙරුණේ සාමාන්‍ය පරිදි ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙනි.

1949 සිට 2012 වසර දක්වා රටවල් කිහිපයකට හැරුණු විට ලංකා රජය සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය කළේ නැත.

නමුත් 2012 දී ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය හඳුන්වා දෙමින් වීසා ගාස්තු අය කිරීම ඇරඹුණි.

ඒ අනුව විටින් විට අවස්ථා රැසකදී වීසා ගාස්තු ඉහළ දැමුණු අතර 2024 ආරම්භ වනවිට මෙරටට පැමිණෙන එක් සංචාරකයෙකුගෙන් අයකළ වැඩිම මුදල අමෙරිකානු ඩොලර් 60කි.

2012 සිට 2024 අප්‍රේල් අවසානය දක්වා වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැටලුවකින් තොරව සිදුවිය.

කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර VFS GLOBAL නම් පෞද්ගලික සමාගමට ලබාදීමට ආණ්ඩුව පසුගිය දා පියවර ගෙන තිබුණේ   කැබිනට් අනුමැතියෙනි. කෙසේ වෙතත් පසුව හෙලිවුයේ බොහෝ කැබිනට් ඇමතිවරුන් මේ නව වීසා ක්‍රමය ගැන නිසි දැනුවත්වීමක් නොතිබූ බවය.

නව ක්‍රමය යටතේ  ඔන්ලයින් පහසුකම ඔස්සේ වීසා පහසුකමත් පසුව ON ARRIVAL වීසා පහසුකමත් VFS  පෞද්ගලික සමාගම වෙත පැවරුණි.

ඒ සමඟ මෙතෙක් ON ARRIVAL වීසා පහසුකම සැපයූ www.eta.gov.lk නම් රජයේ වෙබ් අඩවිය අක්‍රීය කර ඒ වෙනුවට www.srilankaevisa.lk නම් පෞද්ගලික ආයතනයට අයත් නව වෙබ් අඩවියක් හඳුන්වා දුනි.

විදේශීය සමාගම් පොහොසත් කරන කැබිනට් තීරණය

මේ යටතේ මෙරටට පැමිණෙන සංචාරකයෙක්ට හිමිවන දින 30ක වීසා බලපත්‍රය වෙනුවෙන් මෙතෙක් අයකළ ඩොලර් 60 මුදල ඩොලර් 100.5 දක්වා ඉහළ දමා තිබේ.

එම ඩොලර් 100.5 න් ඩොලර් 75ක් රජයට හිමිවන අතර ඉතිරි ඩොලර් 25.5 පෞද්ගලික සමාගමටත් හිමිවෙයි. මෙයින් ඩොලර් 18.50 අදාළ සමාගමේ ගාස්තුව වන අතර ඉතිරි ඩොලර් 7 ක මුදල ගැන නිසි පැහැදිලි කිරීමක් නොමැත. මේ ආකාරයට අතිවිශාල මුදලක් එනම් ඩොලර් 25.50 ක ගාස්තුවක් අදාළ සමාගමට ලැබීම දැඩි ප්‍රශ්න සහගත වන අතර එය ජනතාව තුල දැඩි කතා බහට ලක්විය.

එමෙන්ම 2012 – 2024 අතර කාලය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකාවේ සංචාරය කරන වයස අවුරුදු 12ට අඩු ළමයින්ගේ වීසා ගාස්තුව අය නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි.

නමුත්, එම ප්‍රතිපත්තිමය තීරණය ද වෙනස් කරමින් ළමයෙකුගෙන් ද ඩොලර් 100.5ක වීසා ගාස්තුවක් අයකිරීමට නව ක්‍රමවේදය ඔස්සේ තීරණය කර තිබේ.

ඒ අනුව මව, පියා සහ දරුවන් දෙදෙනෙකුගෙන් යුත් විදේශීය පවුලක් මෙරටට පැමිණීමේ දී වීසා ගාස්තු ලෙස ඩොලර් 400ට අධික මුදලක් ගෙවීමට සිදුවෙයි.
මෙම නව ගාස්තු නිසා ඇතැම්  සංචාරකයන් ශ්‍රීලංකාවේ සංචාරයන් පවා අත්හැර දමා ඇතැයි ද සංචාරක සමාගම් පවසති.

ප්‍රශ්න ගොඩක් මැද වැඩිම වීසා ගාස්තු රටක්

මෙහි ඇති තවත් ගැටලුවක් වන්නේ යම් සංචාරකයෙක් ඔන්ලයින් ඔස්සේ වීසා පහසුකම ලබාගැනීමේදී එය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට වාර්තා වුවත් On Arrival ක්‍රමවේදය ඔස්සේ මෙරටට එන සංචාරකයෙක්ට ලබාදෙන වීසා පහසුකම දෙපාර්තමේන්තුවට පළමු අවස්ථාවේදීම වාර්තා නොවීමය. මෙම තත්ත්වය 1949 අංක 18 දරණ පනතට පටහැනි බවට ද වාර්තා වෙයි. මෙරට සංචාරක ව්‍යාපාරයට බලපෑමක් එල්ල වන බවට සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ද ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

ලිපියක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ නව ක්‍රමවේදය යටතේ වීසා ගාස්තු ඉහළ දැමීම නිසා ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත්වී ඇති බවය.

මෙවැනි පසුබිමක සංචාරක ක්ෂේත්‍රයේ පිරිස් ගණනාවකින් සැදුම්ලත් SLAITO හෙවත් සංචාරක නියෝජිත ආයතන සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ තායිලන්තය, වියට්නාමය සහ නොමිලයේ වීසා ලබාදෙන හෝ ඊට වඩා අඩු ගාස්තු අය කරන තරඟකාරී ගමනාන්තයන්ට සාපේක්ෂව සංචාරකයින් සඳහා සැලකිය යුතු බාධාවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාව දැන් ආසියාවේ ඉහළම වීසා ගාස්තු රට බවට පත් වී ඇති බවය.

කැබිනට් තීරණ අහෝසි කරන ක්‍රමවේදය

මේ අතර ඇතැම් නිලධාරීන් මෙය කැබිනට් මණ්ඩලයේ තීරණයක් බැවින් නැවත හැරවිය නොහැකි අන්දමට ප්‍රතිචාර දක්වන්නට වූ අතර ඇතැම්  කැබිනට් ඇමතිවරු  මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුනේ එය කැබිනට් මණ්ඩලය මගින්ම අහෝසිකිරීම කිරීමට හැකි බවටය. විශේෂයෙන්ම සංචාරක ඇමති හරින්  ප්‍රනාන්දු ගෙන් බොහෝ දෙනා මේ ගැන විමසුහ. හරින්  ප්‍රනාන්දු පවසන අන්දමට ඔහු මේ සම්බන්ධයෙන් දැන සිට නැත.

එසේම බොහෝ පාර්ශව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත් කර තිබේ.
මේ අතර අදාළ සේවා සැපයීම වෙනුවෙන් මේ තරම් විශාල මුදලක් අය කිරීමත් එම මුදල් විදේශීය සමාගමක් වෙත ගලා යාමත් බරපතල ප්‍රශ්නයකි. බ්‍රිතාන්‍ය කොටස් වෙළඳපොල සඳහා පරිගණක පද්ධති නිර්මාණයකළ ශ්‍රීලාංකික සමාගම්වලට මෙවැනි සරල කාර්යයවක් වත් ලබා නොදෙන්නට ශ්‍රීලාංකික බලධාරීන් කටයුතු නොකිරීම ද බරපතල කාරණයකි.ලොව සෙසු රටවල් මෙවන් කාර්යයක් සඳහා ගෙවන මුදල හා සැසඳීමේදී ද මෙය අතිවිශාල මුදලකි. උදාහරණයක් ලෙස ඉන්දියාව වීසා සඳහා අප්‍රේල් හා මයි මාසවල ඩොලර් දහයක් ද, අනෙකුත් මාසවල ඩොලර් විසි පහක් ද අයකරයි. එසේ තිබිය දී VFS ආයතනය ඩොලර් 18.50 ක් හා තවත් ගාස්තුවක් ලෙස ඩොලර් 7 ක් සමඟ එකතුව ඩොලර් 25.50 ක් ය කරයි. මෙය කිසි ලෙසකින්වත් සාධාරණීකරණයකළ නොහැක. බොහෝ රටවල් විවිධ සමාගම් සඳහා සේවා ගාස්තුව ලෙස අයකරන්නට ඉඩ දී ඇත්තේ ඩොලර් 1ත් 5 ත් අතර මුදලකි. ශ්‍රීලංකාවට වසරකට සංචාරකයන් මිලියනයක් පැමිණියහොත් අදාළ විදෙස් සමඟම ලබන මුදල ඩොලර් මිලියන විසිපහකට අධිකය. මේ සඳහා හේතු හා මේවාට ඉඩදුන් අය වහාම රටට හෙළිදරව්කළ යුතුය.
මේ අතර රටේ සෑම ප්‍රශ්නයකට කතාකරන ඇතැම් පාර්ශව මේ වීස ප්‍රශ්නයේ දී කසාය බීපු ගොළුවන් සේ  මුනිවත රැකීම බොහෝදෙනෙකුට ප්‍රශ්නයක් වී තිබේ.

වීසා වරද ජනපති නිවැරදි කරයි.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වරද නිවැරදි කිරීම සඳහා දැනටමත් පියවර ගනිමින් සිටී.

ඒ අනුව විදේශිකයන් මෙරටට පැමිණිමේ දී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අයකළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට මෙවර   අමාත්‍ය මණ්ඩල හමුවේ දී තීරණය කර තිබේ.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක වෙයි.

මේ අතර මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේ දී අදාළ වීසා නිකුත්කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව ද රජය අවධාරණය කර ඇත.

සංචාරක කර්මාන්තයේ සාර්ථක ප්‍රගතියක් මේ වනවිට රට තුළ ඇති වී තිබෙන බැවින්, විදේශිකයෙකු මෙරටට පැමිණිමේ දී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන ලෙස සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව රැසක් ද පසුගිය දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙතින් ඉල්ලා තිබිණි.

එමෙන්ම එය සංචාරක කර්මාන්තයේ ඉදිරි අභිවෘද්ධියට විශාල පිටිවහලක් වන බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අමාත්‍ය මණ්ඩල හමුවට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ. 

ශ්‍රීලනිප අයිතිය කාට ද?

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අයිතිය සම්බන්ධ කාරණය මේ වන විට පවතින්නේ අධිකරණ යේය. එය මෑතක දී විසඳෙන පාටක් පෙනෙන්නට ද නැත. යම් ලෙසකින් ආණ්ඩුව විසුරුවා හදිසි මහා මැතිවරණයක් කැඳවුවහොත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් දෙන නාමයෝජනා පවා මේ තත්වය යටතේ ගැටලුකාරී වනු ඇත.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  වසර පහකට  පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මූලස්ථානයට පසුගිය දා  පැමිණියාය.

ඇයගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ පාර්ශවයේ මැති ඇමතිවරු රැසක් ද පැමිණියහ. එම පිරිස අතර  අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  සහ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ද වූහ.

එහිදී හිටපු ජනාධිපතිවරිය පක්ෂයේ ජේෂ්ඨයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව මුලස්ථානයෙන් පිටව යාමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.

එහිදී ඇය වැඩි දුරටත් කියා සිටියේ පක්ෂයේ හැමදාමත් සිටි බවත්  ඒත් හිිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ම ඇය පැන්නූ බවත් ඉන්පසු මුලස්ථානයට නොපැමිණි බවත් ය.

පක්ෂයේ ඉදිරි ගමන සඳහා කැප වී කටයුතු කරන බව කී ඇය රට හදන්න අපි සියලු  දෙනා එකතු වී වැඩ කරමු යයිද කියා සිටියාය.

ඩාලිපාරට චන්ද්‍රිකාගේ ආගමනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි පිරිසක් චන්ද්‍රිකා විසින් දේශපාලනයට ගෙන ආ පිරිස්ය. ඒ බොහෝ දෙනෙකු ඇගේ  රජයේ විවිධ නිලතල දැරූ පිරිස්ය. එහෙත් පසුකලෙක ඔවුන් මහින්ද රාජපක්ෂ සමඟ එක්වුහ. මහින්දට බලය අහිමිවෙද්දී ඔවුහු මෛත්‍රීපාල සිරිසේන සමඟ ගියහ. යලිත් මෛත්‍රීපාලට බලය අහිමිවෙද්දී ඔවුහු පොහොට්ටුවට එක්වුහ. සමහරු හැමදාම ඇමැතිවරුය. ඒ දේශපාලනයේ හැටිය. අද රනිල් සමඟ සිටින්නේද මේ පිරිස්ය. හෙට කවුරුන් බලයට පැමිණියද ඔවුන් සමඟ ද මේ පිරිස් වලින් බහුතරයක් එක්වනු ඇත. දේශපාලනය ඔවුන්ගේ රැකියාවය. දේශපාලනයේ සදාකාලික මිතුරන් ද නොමැත. සතුරන් ද නොමැත.එම නිසා දේශපාලන ලෝකයේ විය නොහැකි දෙයක් ද නොමැත.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan